සාමූහිකත්වයේ සලකුණ ''මිහිකත හෝරාව''

සාමූහිකත්වයේ සලකුණ ''මිහිකත හෝරාව''

මාර්තු මාසයේ 23 වන දින හෙවත් මේ සතියේ සෙනසුරාදා දින රාත්‍රී 8.30ට 'මිහිකත හෝරාව' එළැඹේ. එය අප වෙසෙන මිහිතලය වෙනුවෙන් කැප කරන හෝරාවකි. එතැන් සිට පැයක කාලයක්‌ නිවසේ හෝ වෙළෙඳසලේ අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම මේ හෝරාවේ දී සිදු කරන ප්‍රධාන කාර්යයයි.

සාමාන්‍යයෙන් මාර්තු මස අවසන් සතියේ සෙනසුරාදා දින ඒ ඒ රටවල වේලාවෙන් රාත්‍රී 8.30 සිට 9.30 දක්‌වා කාලයේ දී සමරනු ලබන මිහිකත හෝරාවට (Earth Hour) එතරම් දිගු අතීතයක්‌ නොමැත. 2007 වර්ෂයේ දී එය ආරම්භ වන්නේ ලෝක වනජීවී අරමුදලේ (WWF) ඔස්‌ටේ්‍රලියානු ශාඛාව හා ලියෝ බර්නට්‌ ආයතනයේ සංකල්පයක්‌ ලෙස ය. දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා වූ කටයුතු සඳහා ඔස්‌ටේ්‍රලියානුවන් සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවල දී ඉදිරිපත් වූ අදහසක්‌ මත මෙය ආරම්භ විය. ඊට සැලකිය යුතු පිරිසක්‌ ආකර්ෂණය කරගැනීමට එහි සංවිධායකයන් සමත් වූ අතර, 2007 මාර්තු 31 වැනි දින රාත්‍රියේ ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ වැසියන් මිලියන 2.2ක්‌ පමණ පිරිසක්‌ තම වාසස්‌ථානවල හා ව්‍යාපාරික ආයතන දෙ දහසකට අධික ප්‍රමාණයක විදුලි පහන් නිවා දමා මිහිකත හෝරාවට දායක වූ හ.

ඒ ආකාරයෙන් සිඩ්නි නගරයෙන් ආරම්භ වූ මිහිකත හෝරාව ඊළ`ග වර්ෂය වන විට ජගත් මට්‌ටමේ අවධානයට ලක්‌ විය. 2008 දී රටවල් 35ක නගර 371ක වෙසෙන අවම වශයෙන් මිලියන 50ක්‌ පමණ ජනතාවක්‌ මේ හෝරාව සඳහා වී තිබිණි. මේ සැමරුමට සම්බන්ධ වන රටවල් ගණන දිනෙන් දින ඉහළ යන බව පැහැදිලිව දැකිය හැකි ය. 2012 වර්ෂයේ දී ලෝකයේ රටවල් 152ක නගර 6950ක්‌ පමණ ප්‍රමාණයක මිහිකත හෝරාව සැමරීම මෙතෙක්‌ ඊට ලැබුණු ඉහළ ම දායකත්වය වේ.

මිහිකත හෝරාවේ අරමුණ

මිහිකත හෝරාවේ අරමුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ක්‍රියාකාරී වීමේ වැදගත්කම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමයි. එහි දී ජනතාව තම නිවාස හා වෙළෙඳ ආයතනවල අත්‍යවශ්‍ය නො වන විදුලි පහන් නිවා දමන්නේ ස්‌වේච්ඡා ක්‍රියාකාරකමක්‌ ලෙස ය. ඒ සඳහා නීතිමය හෝ වෙනත් බල කිරීමක්‌ නැත. විදුලිය හරිතාගාර වායු නිකුත් වීමට බලපාන ප්‍රධාන මාර්ගයක්‌ වන නිසා අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම ඒ පිළිබඳව ගන්නා සංකේතාත්මක පියවරකි.

දිගු ඉතිහාසයක්‌ නැතත්, මිහිකත හෝරාව ලෝකයේ සාමාන්‍ය ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක්‌ කැමැත්තෙන් වැළඳගත් බව පෙනේ. (අප මෙහි දී සාමාන්‍ය ජනතාව යනුවෙන් සඳහන් කළේ පරිසරය පිළිබඳව සංවේදී පිරිස්‌ මේ හෝරාව වැළඳගැනීම පුදුමයක්‌ නො වන නිසා ය.) මේ සඳහා අපේ සමාජයේ විවිධ අංශවල දායකත්වය ලැබෙන ආකාරයක්‌ දැකගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් විවිධ වෙබ් අඩවි හා සමාජ ජාල, සංවිධාන, ආයතන හා පුද්ගලයන් ගේ දායකත්වය මිහිකත හෝරාවට ලැබේ. ලෝක ප්‍රකට ස්‌ථානවල පවා විදුලි පහන් නිවා දමා ඊට දායකත්වය ලබා දී ඇත. එසේ ම මේ හා සමගාමීව වෙනත් කටයුතු සිදු වන ආකාරය ද දැකගත හැකි ය. ඒ නිසා මින් ලැබෙන සහභාගිත්වයේ පණිවිඩය අපට කිසිසේත් අමතක කළ නොහැකි ය.

සාමූහිකත්වයේ ඵලය

මිහිකත හෝරාවේ ඇති එක්‌ වැදගත්කමක්‌ වන්නේ එය මෙවැනි සාමූහික කාර්යයක්‌ වීම ය. එහෙත් මේ හෝරාවේ සාමූහිකව අප සිදු කරන කටයුත්ත අන් දිනවල, සැම මොහොතක දී ම සිදු කිරීම අවශ්‍ය ව තිබේ. විදුලි පරිභෝජනය අවම කිරීම අප සැමට කළ හැකි ය. අද අවශ්‍ය ව ඇත්තේ මිහිකත හෝරාව ඇතුළත අප අවබෝධ කරගන්නා දේ අපේ එදිනෙදා ජීවිතයේ දී අනුගමනය කිරීම ය. මේ තත්ත්වය දැකිය නො හැකි වීම මිහිකත හෝරාවේ සාර්ථකත්වය සම්බන්ධව ඉදිරිපත් ව ඇති එක්‌ විවේචනයකි. එසේ ම දේශගුණ වෙනස්‌ වීම හා පරිසරය පිළිබඳ කරුණු ලෝක ජනතාව ගේ අවධානයෙන් තරමක්‌ ඈත් ව ඇති බව ජගත් මට්‌ටමේ සමීක්‌ෂණවලින් හෙළි වී ඇති බව අප අමතක නො කළ යුතු ය.

මිහිකත හෝරාව ඇතුළත බලශක්‌ති පරිභෝජනයේ යම් අඩුවක්‌ වේ ද යන්න මෙහි දී පැනන`ගින වැදගත් පැනයකි. ඇතැම් අවස්‌ථාවල එවැනි දෙයක්‌ සිදු වී ඇති බව පෙන්වා දී ඇත. 2012 වර්ෂයේ මිහිකත හෝරාව සැමරීමේ උත්සවය පැවැති මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනය මෙගවොට්‌ 130කින් අඩු වූ බව විදුලිබල බලධාරීන් පවසා තිබිණි.

කෙසේ වෙතත් මිහිකත හෝරාවේ සංවිධායකයන් පවසන පරිදි එදින සිදු වන විදුලි පරිභෝජනය අඩු වේ ද යන්න සොයාබැලීම ඔවුන් ගේ අරමුණක්‌ නො වේ. මිහිකත හෝරාවට සම්බන්ධ වීම සංකේතාත්මක කටයුත්තක්‌ බව ඔවුන් ගේ අදහසයි. එය, ඊට සම්බන්ධ වන පුද්ගලයන් ඔවුන් ගේ කාබන් පියසටහන පිළිබඳව හා පාරිසරික බලපෑම පිළිබඳව සැලකිලිමත් වන බව පෙන්වන සාධකයක්‌ සේ සැලකිය හැකි ය.

මේ කරුණු අනුව අප ගත කරන සැම හෝරාවක්‌ ම මිහිකත හෝරාවක්‌ වන යුගයක්‌ අවශ්‍ය ව තිබේ.

මිහිකත හෝරාවේ වෙබ් අඩවිය  www.earthhour.org

අප කළ යුතු දේ,

· මිහිකත හෝරාවේ දී නිවසේ හෝ වෙළෙඳසලේ ඇති අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම.

· අප සිදු කරන කටයුතු නිසා පරිසරයට සිදු වන බලපෑම පිළිබඳව මෙනෙහි කිරීම සඳහා මිහිකත හෝරාව ඉතා යෝග්‍ය අවස්‌ථාවකි.

· මිහිකත හෝරාවේ පණිවිඩය අන් අයටත් පැවසීම.

· හැකි සැම අවස්‌ථාවක දී ම මිහිකත හෝරාවේ දී අප ක්‍රියාත්මක කළ දේ අනුගමනය කිරීම.

· මිහිකත හෝරාව සඳහා අපේ දායකත්වය සටහන් කර තැබීම.

ධනේෂ් විසුම්පෙරුම
ඔබේ අදහස්‌ dhaneshw@ymail.com

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය