ඩාවින් : මහා මූල හේතුව



තීරණාත්මක මොහොතකි. විදුහුරු මනස්‌ තුළ සියුම් පැටලුමක වෙළී උන් බුද්ධි- භාව යුගලෙහි මහා සමාජ භූමිකාව නොසියුම් රළු වේශයක්‌ ගත් සෙයකි. ඡේම්ස්‌ වොට්‌ ගේ වාෂ්ප එන්ජිම ද ජෝසප් ප්‍රීස්‌ට්‌ලි ගේ අම්ලකර රසායනය ද නොඉවසිලිමත් යටි පණිවිඩයක්‌ මනුෂ්‍ය වර්ගයා වෙත ගෙන ආවේ ය. එනම්, මනුෂ්‍යයා සුත කරවීම උදෙසා මහා භෞතික විප්ලවයක්‌ නොපමා ව කළ යුතු බවයි. බ්ලේක්‌, වර්ඩ්ස්‌වෝත් හෝ කොල්රිඡ් පෙරටු තත්කාලීන කිවිසුරු නිමැවුම් තුළින් කල් තබා ම එම අදහසෙහි සාහසික බව ද දුර්විපාක ද පෙන්වා දෙනු ලැබිණි. කොල්රිඡ්, සිය කිවි සුමිතුරා වන වර්ඩ්ස්‌වෝර්ත් වෙත මෙවන් ලියමනක්‌ යෑවී ය.

"මිනිසා වානරයකු ගේ අදියරකැ යි විශ්වාස කරන ඔහු වැන්නවුන් ගේ මතවාද හේතු කොටගෙන මනුෂ්‍ය සමාජය එක්‌තරා ආකාරයක නස්‌තිත්වයකට ඇද වැටෙන සැටි මම දකින්නෙමි".

කොල්රිඡ් ගේත් වර්ඩ්ස්‌වෝර්ත් ගේත් නිර්දය විවේචනයට බඳුන් වන ඔහු කවියකු, වෛද්‍යවරයකු සේ ම විද්‍යාඥයකු ද වූ ඉරැස්‌මස්‌ ඩාවින් ය. පරිණාමවාදයෙහි පියා යෑයි අද ප්‍රකට චාල්ස්‌ ඩාවින් ඔහු ගේ මුණුපුරෙකි. බුද්ධිවාද ඇකයෙහි ද කාර්මික විප්ලව පෙරමුණෙහි ද උන් වොට්‌ සහ ප්‍රිස්‌ට්‌ලි, ඉරැස්‌මස්‌ වාඩින් ගේ මතවාදී සුමිතුරෝ වූ හ. එහෙයින් යෝජිත සමාජ විප්ලවය සේ ම, කාර්මික විප්ලවය කෙරෙහි මහත් වූ සුබ සංඥාවක්‌ ඔහු තුළ වැඩිණ. ඒ සමග කොල්රිඡ් ගේ විවේචනය ද කිවි බවට පැමිණෙනු පිණිස ඔහුට යොදාගන්නට තිබුණු සංරචක වසා ලමින් වැඩෙන්නට විය.

"ඔහු යුරෝපයේ අන් කිසිවෙකුට අහිමි ඥාන දීප්තියක්‌ ඇත්තකු විය හැකි ය. එමෙන් ම ඔහු නැවුම් දාර්ශනිකයෙකි. බොහෝ දේ ගැන කියන්නට ඔහු සතු ව අලුත් යමක්‌ තිබේ. එහෙත් ආගම - ඔහු වරක්‌ මේ ගැන කියා මට සරදම් කළේ ය. මම සියල්ල සාවධානව අසා හිඳ මෙසේ කීමි ( මැතිඳාණ, ආගම පිළිබඳ ඔබේ නොසියුම් සිතිවිලිවල දුබලකම මට අස්‌වැසිල්ලක්‌ ගෙනෙන්නේ ය. දෙවියන් ගේ පැවැත්මට හෝ ප්‍රචලිත ලබ්ධීන්ට එදිරි ව එතරම් දැවැන්ත මනුෂ්‍යයකු ඉදිරිපත් කරන කරුණු මොනවා ද? ඒවා පහළොස්‌ හැවිරිදි මා බියපත් කළ, විසි හැවිරිදි මා මුවට සිනා නැංවූ කරුණු ම ය. භක්‌තිවාදයට රුකුල් දෙන කිසිදු ග්‍රන්ථයක්‌ තමා කියවා නැතැයි ද එයට එරෙහි සැම ලියවිල්ලක්‌ ම කියවා ඇතැයි ද හේ උදම් ඇනී ය...."

මෙලෙස කිවි බවෙහි සුරුවන් සේ පිදුම් ලද කොල්රිජ් හෝ වර්ඩ්ස්‌වෝර්ත් වෙතින් ප්‍රතික්‍ෂේප කරනු ලදුව, තනි ව නැඟී සිටීමට තරම් ශක්‌තියක්‌ ද නැති ව මහා කවියකු වන්නට ඩාවින් අසමත් විය. එසේ වුවත් ප්‍රිස්‌ට්‌ලි හා ඡේම්ස්‌ වොට්‌ විසින් ඔහු සාදරයෙන් පිළිගනු ලැබිණ. මෙසේ ඔහු පර්යේෂණ ක්‍රමයෙහි ද හේතුවාදයෙහි ද මහාරක්‍ෂකයකු බවට පත් විය.

ඔහු කවි ලිවීම අත් නො හළේ ය. විද්‍යාත්මක ප්‍රපංච සමාජගත කිරීමට හොඳ ම මඟ කවිය යෑයි ඔහු විශ්වාස කළේ ය. එහෙයින් ඔහු ගේ කවි මඟ ක්‍රි. පූ. පළමුවැනි සියවසේ උන් එපිකියුරියානු කිවිවර ලුක්‌රේෂස්‌ට නෑකම් කියන සෙයකි. පසුකාලීනව ගද්‍ය-පද්‍ය මිශ්‍ර රීතියක්‌ ද ගද්‍ය රීතියක්‌ ද අත්හදා බලන්නටත් ඔහු උත්සුක විය. ඩාඩින් ගේ ප්‍රකට ම කෘතිය වන The Botanic Garden ගද්‍ය-පද්‍ය මිශ්‍ර රීතියෙන් ලියෑවුණකි. Love of the Plants ලෙස නම් කළ දෙවැනි ග්‍රන්ථයෙහි එන බොහෝ කවි තුළින් ගහ කොළ මල් මත ශෘංගාරාරෝපණයක්‌ කර තිබෙනු දැකිය හැකි ය. එය එක්‌තරා අන්දමකින් පළමුවැනි ග්‍රන්ථයේ එන දෘඪ ප්‍රපංචකරණයට සේ ම ඔහු ගේ ම Zoonomia කෘතියෙහි රීතියට පිටුපා යාමකි.

ලිලී - නො ඉඳුල් කුසුම

හෙළා රහසේ සුසුම්

හිඳින්නී බිමට බර වී නැවී


රෝස කුසුමක්‌ වේ ය

සිය කුමර රූ සිරින් උදාරම්

විළිබර ය රත් පැහැ ය මනාලිය...

ඔහු දෙතොල තෙමා ලන මී රසය

ඇගේ උණුසුම් රත ය

The Botanic Garden

එහෙත් ඩාවින් මෙය යොදාගත්තේ සිථිල කාව්‍යානුභූතියක්‌ ලෙස නො වන බැවි බොහෝ දෙනා විශ්වාස කරති. ජීවයෙහි පැවැත්ම රඳා පවත්නා අඳුරු රහස්‌ යෑයි ඔහු විසින් හඳුන්වා දෙනු ලබන රීතීන් එම ගෘංගාරාරෝපණයෙහි යටි පෙළින් ඉපිලී නො පෙනෙන්නේ ද?

"ප්‍රජාවක පිරිමි සතුන් අතර එක්‌ ගැහැනු සතකු අරභයා ඇති වන තරගයෙහි අර්ථය නම් වඩා ශක්‌තිමත් පරපුරක්‌ ජනනය කිරීමට ලැබෙන අවස්‌ථාව ය." ඔහු ගේ වදන් ය, මේ. ප්‍රජනනය කේන්ද්‍ර කොටගත් මේ ප්‍රපංචය ඉරැස්‌මස්‌ ඩාවින් ගේ උද්භිද උයනෙන්, චිත්ත සත්ත්වෝද්‍යානයට සේ ම අවසානයේ මුණුපුරු චාල්ස්‌ ඩාවින් කරා ද සංක්‍රමණය විය. ශාස්‌ත්‍ර ලෝකය පමණක්‌ නො ව ජන මනස ද අවුලුවා ලු පරිණාමවාදයෙහි මූලබීජ The Botanic Garden පද්‍ය තුළ සුලබ වේ.

සියුම් කවි නිමිති හිඟ හෙයින් කිවියන් විසින් ද, කවි හෙයින් විද්‍යාඥයන් විසින් ද අත්හැර දමනු ලැබූ ඉරැස්‌මස්‌ ඩාවින් ගේ ලේඛන තුළින් සිය පරපුරෙහි සිතිවිලි කියවන්නට චාල්ස්‌ ඩාවින් සමත් විය. "ඔහු ඒකත්වයක්‌ ලබා ගැනීමට නිරන්තරයෙන් වෙර දරා ඇතැ" යි චාල්ස්‌ ඩාවින් සටහන් තැබී ය. මේ ඒකත්වය වනාහි, කොල්රිඡ් විසින් ප්‍රතික්‍ෂේප කරන්නට යෙදුණු, කිකිළි බිජු වියවුලට දුන් හිතලු විසඳුමක්‌ වන්, සියුම් නස්‌තිත්වයක්‌ ගැබ් කොට ගත් "පරිණාමවාද පදනම" නො වේ ද?

"....එයට මහා මූල හේතුව යෑයි කියන්නට රිසියෙමි. සියල්ල ම යටින් දිව යන්නේ එයයි" ඉරැස්‌මස්‌ ඩාවින් සිය Zoonomia ග්‍රන්ථයෙහි සඳහන් කරයි. "සමස්‌ත සොබාදහම සංරචක දෙකකින් යුක්‌ත ය. භෞතිකය හා විඥානය යනුවෙනි. දෙවියන් සියතින් හැම නිමැවුමක ම අපරිමිත විවිධත්වයක්‌ ඇති කොට තිබෙන මුත්, ඒ සියල්ල යටින් ඇති ඒකත්වයක්‌ දකිමි."

මේ ඒකත්ව සංඥාව ඌනිත යථාර්ථයක්‌ කෙරෙහි ආශාව ගැබ් කොටගත් සෙයකි. චාල්ස්‌ ඩාවින් ගේ සිත් කුසෙහි සරුවට වැඩෙන මේ ගැබ, පරිණාමය වූ මිනිසකු සේ පසු කලෙක එළිය දිටී ය.

ඩාවින් ගේ කාව්‍ය තුළින් එබිකම් කරන මේ මහා මූල හේතුව කෙබඳු පාරභෞතික සත්තාවක්‌ ද? ශාස්‌වත ධ්‍රැවයෙහි හිඳ නිරීක්‍ෂණය කරන්නකුට එය කොල්රිඡ් දුටු නස්‌තිත්වය විය හැකිවාක්‌ සේ ම උච්ඡේද ධ්‍රැවයෙහි හිඳ නිරීක්‌ෂණය කරන්නකුට එය යළි දෙවියන් ගේ හෝ විඥානයේ අස්‌තිත්වය ලෙස පෙනී යැමට ද හැකි ය. කෙසේ නමුත් එබඳු වියවුලකට

ඉරැස්‌මස්‌ ඩාවින් හසු නො වන්නේ ඔහු රැඳී උන් දෘඪ ධ්‍රැවීය ආස්‌ථානය හේතුවෙනි. බ්ලෙක්‌ ගේ නිවුටන් විරෝධය-ආගමික සංස්‌ථා විරෝධය සේ ම වර්ඩ්ස්‌වෝර්ත් ගේ බේකන් විරෝධය-නිවුටන් ලෝලය වැනි, ඕලාරික සමාජ න්‍යාස තුළට එබ්බවිය නොහැකි ගැඹුරු ද්වයතාවක්‌ ඔහු තුළින් හමු නො වේ. බේකන්, නිවුටන් පමණක්‌ නො ව විලියම් හර්ෂල්, ඡේම්ස්‌ වොට්‌, මැතිව් බෝල්ටන් ඔහු ගේ පැසසුමට ලක්‌ වෙති. ඔහු සතු ව තිබූ මේ මහා විභේදන අසිපත ම, කිවිසුරුවකු වන්නට තිබූ මඟ ඇවිරී යෑයි සිතීම අසාධාරණ නො වේ. එවන් විභේදනයක්‌ යොදාගෙන නිවුටන් විසින් හේතු-ඵල යුගල වෙන් කොට දැක්‌වීම ද හර්ෂල් විසින් නව ග්‍රහලෝකයක්‌ සහ එහි වළලු හැඳිනගෙන එයට තෙවැනි ජෝර්ඡ් රජු ගේ තාරකාව (වත්මන් යුරේනස්‌) යෑයි නම් තැබීම ද ඔහුට කදිම නිමිති වී ය. කෙසේ නමුත් ඉරැස්‌මස්‌ ඩාවින් යනු රාජකීය වෛද්‍යවරයා වීමට තෙවැනි ජෝර්ඡ් රජු එවූ ආරාධනය ප්‍රතික්‌ෂේප කළ මිනිසා බව ද අමතක කළ නො හේ.



මහරු දෑසක්‌ වී ය

නිවුටන්ට...



කාල චාරිකාවෙහි දිදුල යුග

එයිනි සටහන් කළේ,

සොබාහුරු දසුන්වල

හේතු - ඵල වෙන් කළේ,

සොබාදහමෙහි රහස

හෙළි කළේ



හර්ෂල් ද

ප්‍රමුදිත ව

නිශාවෙහි ආලෝක කිරණකින්

යෙදෙයි, සිය දිදුල චාරිකාවෙහි...

දකියි, හේ

පෙර නුදුටු රැකවලූන් හිඳින වග

ජෝර්ඡ් තාරුකාවට

කැරකෙමින් උන් හ උහු ඒ වටා

වළලූවන් පෙත් අරා

The Temple of Nature


ඉරැස්‌මස්‌ ඩාවින් නිරන්තරයෙන් ඇසුරු කළ මහා මූල හේතු සංකල්පය, ඔහු ගේ කිවි බව වසා එහෙත් කවි තුළ සැඟවගෙන ජීව විද්‍යාවෙහි පෙරැළියක්‌ කළා සේ ම භෞතික විද්‍යාවෙහි ද

පෙරැළියක්‌ කළේ ය. කිසි දාක භෞතික විද්‍යාඥයකු නො වූ නමුත් කෙප්ලර් ගේ හර්ෂල් ගේ සිතිවිලි මනාව කියවීමේ ප්‍රාගුණ්‍යයක්‌ ඔහු තුළ තිබිණි. ග්‍රහ වස්‌තු ඔහු ගේ කවි නිමිති වූයේ වරක්‌ දෙවරක්‌ නො වේ.

තාරකාවනි, අසවු !

පිබිදියවු, තුරුණු මදයෙන් පිරී

පිහිටුවවු දිදුල රේඛාවලින්

කාලයෙහි පා ලකුණු...



ආකාශ පුෂ්පයිනි,

තොප ද මතු මහලූ බව ලැබිය යුතු...

කෙත් අරා හිඳින තොප

මොළොක්‌ නෑසියන් සේ

යම් දාක මිලාන ව වැටිය යුතු...



තාරුකාවක්‌ බැගින්

පැමිණ දෙව් ලොව විසල් දොරටුවෙන්,

එක්‌ ඉරක්‌

තව ඉරක්‌ තුළ ගිලී

දිය වෙමින්,

ග්‍රහ මඬුලූ උනුන් මත හැපි හැපී

ක්‌ෂය වෙමින්,

අඳුරු කුහරය තුළට වැටිය යුතු...



මරණය ද රාත්‍රිය ද වියවුල ද

මුසු වන් හ උනුන් හා...

චණ්‌ඩ මාරුත හමා

මුහුදුබත් වන තුරා නො මියෙනා

සොබා ළඳ

පෙන්වමින් සැලෙන රුව

ගිනි වැදුණු තටු සඟල විදාගෙන

චිතකයෙන් නැගෙන්නී

The Botanic Garden


ජීවවිද්‍යාවට පරිණාමවාදය සේ තාරකා භෞතික විද්‍යාවට මහා පිපිරුම්වාදය යෑයි කීම එතරම් අසාධාරණ නො වේ. අසිරිමත් කරුණ නම් මහා පිපිරුම්වාදයෙහි මූලබීජ ද

ඉරැස්‌මස්‌ ඩාවින් ගේ කවි තුළ පසු කාලයක හමු වීමයි.



ස්‌කන්ධයක්‌

හිරු මඬුලූ දස ලක්‌ෂයක්‌ වී ය...

පෘථිවියෝ

උපත ලැබ හදිසි පිපුරුම තුළින්

වට කළ හ හිරු මඬුලූ...

පළමු ග්‍රහලෝකයෙන්

බිහි වී ය දෙ වැනි ග්‍රහලෝකයක්‌

The Temple of Nature

තවත් අසිරිමත් කරුණක්‌ වන්නේ ඔයෑ ඊදඒබසජ ඨ්‌රාeබ ග්‍රන්ථයෙහි සිතුවම් බොහොමයක නිර්මාතෘවරයා ඉරැස්‌මස්‌ ඩාවින්ට හාත්පසින් වෙනස්‌ මඟක්‌ ගත් විලියම් බ්ලේක්‌ කිවිසුරුවාණන් වීමයි!

අනුරාධ මහසිංහ

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

පැපිරස්‌ පත්‍රයේ කථාව