ඊනියා ඒකිකෘත ප්‍රවාදය

බටහිර භෞතික විද්‍යාවට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහ නව වැනි සියවස අගභාගයේ දී නම් 1990 පමණ වන තෙක්‌ එය ජයකෙහෙළි නැංවී යෑයි කීම පරස්‌පර යෑයි සිතන පඬියෝ මෙරට සිටිති. කණකොකා හැඬීම ආරම්භ වීමත් සමඟ බටහිර භෞතික විද්‍යාව කඩා වැටීම ආරම්භ විණි යෑයි සිතන්නන්ට නම් ඉහත සඳහන් ප්‍රකාශ දෙකෙහි පරස්‌පරයක්‌ දැකිය හැකි ය. කණකොකා හැඬීම ආරම්භ වූයේ ම ප්ලෑන්ක්‌ නම් විද්‍යාඥයා ආලෝකයට අංශුවල ගුණ ඇති බවත් ආලෝකය තරංග වශයෙන් පමණක්‌ නො ව ක්‌වොන්ටා (Quanta) හෙවත් පොදි (පැකැට්‌ටු) වශයෙන් ද ගමන් කරන බවත් ප්‍රකාශ කිරීම සමඟ ය.

වත්මන් ක්‌වොන්ටම් භෞතිකයේ ආරම්භය එසේ සිදු විණි. ක්‌වොන්ටම් භෞතිකය ගැන නො දන්නවුන් නො දැන සිටිය ද ක්‌වොන්ටම් භෞතිකය බටහිර භෞතික විද්‍යාවෙහි සංස්‌කෘතියට හා චින්තනයට එරෙහි ව යයි. එය බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට පටහැනි වෙයි. එහි න්‍යාය ඇරිස්‌ටෝටලීය නො වන බව දන්නේ පිටරට සිටින බටහිර භෞතික විද්‍යාඥයන් හා දාර්ශනිකයන් කිහිප දෙනකු පමණ ය. ජනප්‍රිය පොත් කියවා (ඇතැමුන් කියවා ඇත්තේ සෝවියට්‌ රුසියාව පැවැති කාලයේ රුසියන් බසින් නිකුත් කර පසුව ඉංගිරිසියට පෙරළු ජනප්‍රිය පොත් කිහිපයක්‌ පමණකි) බටහිර විද්‍යාව නො ව බටහිර විද්‍යාව ගැන තම තම නැණ පමණින් ඉගෙන, ලූලා නැති වළට කණයන් වීමට දඟලන පඬියෝ මේ කිසිවක්‌ නො දනිති. මේ කණයන් මහාචාර්යවරුන් අතර ද දැකගත හැකි ය.

ක්‌වොන්ටම් භෞතිකය යම්තමින් වුව ද බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සම්ප්‍රදායෙහි රැකුණේ, තවත් පරස්‌පරයක්‌ ලෙස පඬියන්ට පෙනී ගිය ද, චීන සංස්‌කෘතියෙන් ආභාසය ලත් බෝර්ට පින් සිදු වන්නට ය. ඔහු යින් යෑන් දර්ශනය මත පදනම් ව ක්‌වොන්ටම් භෞතිකය බටහිර ඉන්ද්‍රියානුභූතවාදයෙහි (positivism) රඳවා ගත්තේ ය. එහෙත් එයට බටහිර යථාර්ථවාදීහු (realists) තරයේ විරුද්ධ වූ හ. එහි දී බෝර් ගේ ප්‍රධාන විරුද්ධවාදියා වූයේ අන් කිසිවකු නො ව අයින්ස්‌ටයින් ය. අද වන විට ක්‌වොන්ටම් භෞතිකය බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පා වන එහෙත් පදනමක්‌ නැති හුදෙක්‌ ගණනය කිරීම්වලට සීමා වන උපයෝගීතාවට බර දැනුම් පද්ධතියක්‌ බවට පත් වී ඇත.

1930 යනු දළ වශයෙන් ගත් කල බෝර්-අයින්ස්‌ටයින් විවාද බෝර් ගේ ජයග්‍රහණයෙන් කෙළවර වූ වසර ය. දහ නව වැනි සියවසේ අවසාන දශකයේ සිට 1930 පමණ දක්‌වා අවුරුදු තිස්‌ පහක්‌ පමණ ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ජයග්‍රහණ රැසක්‌ හිමි කර ගත්තේ ය. එහෙත් එතැන් සිට ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ක්‍රියාත්මක වන්නේ ගණක යන්ත්‍රයක්‌ ලෙසින් යෑයි කිව හොත් නිවැරැදි ය. එහි සෛද්ධාන්තික, දාර්ශනික ගැඹුරක්‌ නැත. ක්‌වොන්ටම් භෞතිකය යථාර්ථවාදීව හෝ ඉන්ද්‍රියානුභූතවාදීව හෝ තේරුම්ගත නො හැකි බව මේ වන විට බටහිර භෞතික විද්‍යාඥයන්ට වැටහිය යුතු නමුත් යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි හිර වී සිටින ඔවුන්ට ඒ ගැන අවබෝධයක්‌ නැත.

1930 පමණ වන තෙක්‌ අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ද වර්ධනය විය. 1905 දී විශේෂ සාපේක්‍ෂතාවාදය ද, 1915 දී සාධාරණ සාපේක්‍ෂතාවාදය ද එළිදැක්‌වීමට අයින්ස්‌ටයින් සමත් විය. ක්‌වොන්ටම් භෞතිකය මෙන් නො ව සාපේක්‍ෂතාවාදය හුදෙක්‌ එක්‌ පුද්ගලයකු ගේ, එනම් අයින්ස්‌ටයින් ගේ දායකත්වයෙන් බිහි වූවක්‌ විය. 1916 වන විටත් විශ්වවේදය (Cosmology) බිහි වී තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය විශ්වයට ම යොදා ගැනීමේ ප්‍රතිඵලය විය. හබල් හෝ අද ඇතැම් බටහිර විශ්වවේදීන් සිතන අයුරින් නම් ඔහුට පෙර වෙනත් අය හෝ විශ්වය ප්‍රසාරණය වීමේ අදහස ඉදිරිපත් කර තිබිණි. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමඟ අගේට ගැලපිණි.

එහෙත් මේ අතර බටහිර භෞතික විද්‍යාවට ප්‍රධාන ප්‍රශ්නයක්‌ පැනනැඟෙමින් තිබිණි. එය ද ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ප්‍රතිඵලයක්‌ විය. සියල්ල දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක්‌ නම් ඒ සියල්ල එක්‌ කරන ඉතා සාධාරණ ප්‍රවාදයක්‌ තිබිය යුතු බැව් බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙය මුළුමනින් ම ඒක දේව නිර්මාණයකින් ගලා එන්නක්‌ බව පැහැදිලි ය. ඌනිතවාදය (reductionism) ද, එනම් සියල්ල ප්‍රත්‍යක්‍ෂ කිහිපයකට ඌනනය කිරීම ද දේව නිර්මාණය මත පදනම් වෙයි. අනේකහේතුවාදී හෙවත් බහුහේතුවාදී වූ සිංහල බෞද්ධ චින්තනයෙහි සියල්ල විස්‌තර කරන එක්‌ ප්‍රවාදයකට ඉඩක්‌ නැත. බටහිර භෞතික විද්‍යාඥයන් එලෙස එක්‌ ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරිමේ දිශාවට කලින් පියවර නඟා තිබිණි. ආරම්භයේ දී ම ගැලීලියෝ පොළොව මත සිදු වන දෑ හා ග්‍රහ වස්‌තුවල සිදු වන දෑ එක ම ප්‍රවාදයකින් විස්‌තර කළ හැකි බව අඩු ම තරමෙන් දුරේක්‍ෂ සම්බන්ධයෙන් එතරම් තර්කානුකූලව නො වන නමුත් අනෙක්‌ අය ඒත්තු ගන්වා තිබිණි. පසුව නිව්ටන්, නැති ගුරුත්වාකර්ෂණයක්‌ පොළොව මත මෙන් ම පිටත ද ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේ ය.

බටහිර විද්‍යාඥයන් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණයෙන් කෙතරම් උද්දාමයට පත් ව සිටියේ ද කිව හොත් ඔවුන් ඒ ප්‍රවාදය හැඳින්වූයේ සර්වත්‍ර නියමයක්‌ (universal law) ලෙස ය. ඉන්පසු කලෙක මැක්‌ස්‌වෙල්, ෆැරඩේ ගේ පරීක්‍ෂණ මත පදනම් වූ චුම්බකත්වය හා විද්යුත් ගුණ එක්‌ කළේ ය. අයින්ස්‌ටයින් අවකාශය හා කාලය එක්‌ කළේ ය. පසුව බටහිර භෞතික විද්‍යාවට දුර්වල අන්තර්ක්‍රියා (weak interaction) හා ශක්‌තිමත් අන්තර්ක්‍රියා (strong interaction) එකතු විය. එවිට බටහිර භෞතික විද්‍යාවේ බල වර්ග හතරක්‌ විය. එනම් විද්යුත් චුම්බක බලය, දුර්වල බලය, ශක්‌තිමත් බලය හා ගුරුත්වාකර්ෂණ බලය විය.

අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය හා ක්‌වොන්ටම් භෞතිකවාදය එක්‌ කිරීමට ඩිරැක්‌ නම් ඉංගිරිසි භෞතික විද්‍යාඥයා සමත් විය. එහි ප්‍රතිඵලයක්‌ වූ ක්‌වොන්ටම් විද්යුත් ගතිකය (Quantum Electrodynamics) මෙතෙක්‌ බිහි වී ඇති ඉතා ම සාර්ථක බටහිර භෞතික විද්‍යා ප්‍රවාදය ලෙස හැඳින්වෙයි. එහෙත් එය සාර්ථක වන්නේ හුදෙක්‌ පරීක්‍ෂණවල මිනුම් ගැන කියන ප්‍රවාදයක්‌ ලෙස මිස දාර්ශනික පදනමක්‌ ඇති ප්‍රවාදයක්‌ ලෙස නො වේ. සලාම් (දැනට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත් වූ එක ම ඉස්‌ලාම් භක්‌තිකයා හා එක ම පකිස්‌තාන ජාතික ජන්මයක්‌ හිමි ව සිටි තැනැත්තා) සහ ග්ලැෂෝ විසින් දුර්වල බල විද්යුත් චුම්බක බල එකතු කරනු ලැබිණි. එහෙත් අද වන විටත් ඊනියා ගුරුත්වාකර්ෂණ බලය වෙනුවට අද ඇති අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්‌වොන්ටම් භෞතික විද්‍යාව එකතු කර ඒකිකෘත ප්‍රවාදයක්‌ (unified theory) නිර්මාණය කරගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් අසමත් වී ඇත. එබැවින් ඊනියා ගුරුත්වාකර්ෂණය හා අනෙක්‌ බල එකිනෙකින් වෙන් වී පවතියි. මෙය දෙවියන් වහන්සේ ඇදහුවත් නැතත් එක්‌ තැනකින් කෙරෙන පටන් ගැනීමක්‌ ගැන විශ්වාස කරන බටහිරයන්ට මහත් හිසරදයකි.

බටහිරයන්ට අවශ්‍ය කෙසේ වුවත් ඒකිකෘත ප්‍රවාදයක්‌ ගොඩනැඟීම ය. අයින්ස්‌ටයින්ට ද ඒ අභිලාෂය විය. ඔහු 1930 පමණ සිට මිය යන තුරු ම විද්යුතය සාධාරණ සාපේක්‍ෂතාවාදය සමඟ එකතු කිරීමට අසාර්ථක උත්සාහයක නිරත විය. අද වන විට පැහැදිලිව පෙනෙන කරුණ නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්‌වොන්ටම් භෞතිකය යා දෙක නොරත රත මෙන් එකිනෙක සමඟ පෑහීමක්‌ නො වීම ය. කැලණිය විශ්වවිද්‍යාලයයේ ගණිතමය භෞතික විද්‍යාව හදාරන සිව්වැනි වසරේ ශිෂ්‍යයකු මේ පිළිබඳ මූලික අධ්‍යයනයකින් පසු ඒ ක්‍ෂෙත්‍ර නො ගැලපෙන (incompatible) බවට කරුණු දක්‌වා ඇත.

ක්‌වොන්ටම් භෞතිකය, සාධාරණ සාපේක්‍ෂතාවාදය සමඟ පමණක්‌ නො ව විශේෂ සාපේක්‍ෂතාවාදය සමඟ ද නො ගැලපෙයි.

ඩිරැක්‌ විශේෂ සාපේක්‍ෂතාවාදය ක්‌වොන්ටම් භෞතිකයට යොදාගත් බව ද ඩිරැක්‌ සාපේක්‍ෂතාවාදී සමීකරණය එහි ප්‍රතිඵලයක්‌ බව ද සැබෑ ය. එහෙත් පසුගිය සියවසේ විසි ගණන්වල පැවැති බෝර්-අයින්ස්‌ටයින් විවාදවල දී අයින්ස්‌ටයින් හා ඔහු ගේ සහායකයන් ඉදිරිපත් කළ අයින්ස්‌ටයින් - පොඩොල්ස්‌කි - රොසන් පරස්‌පරය (EPR paradox) මේ ක්‍ෂෙත්‍ර දෙක අතර ඇති නො ගැලපීම තව තවත් මහත් කර ඇත.

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පරස්‌පරය ක්‌වොන්ටම් භෞතිකයේ පැටළුණු අංශු (Entangled particles) සම්බන්ධයෙන් වෙයි. ක්‌වොන්ටම් භෞතිකයට අනුව පැටළුණු අංශූ දෙකකින් එකක යම් ගුණයක්‌ මැනගත හොත් ඒ ක්‍ෂණයෙහි ම අනෙක්‌ අංශුව ද එම ගුණයට අදාළ වූ පිහිටුමකට (අවස්‌ථාවකට) පැමිණෙයි. මෙයින් කියෑවෙන්නේ එක්‌ අතකින් දෙවැනි අංශුවෙහි අදාළ ගුණය මැනීමට පෙර ඒ අගය කුමක්‌ දැයි නිරීක්‍ෂකයා දන්නා බවත් එය බෝර් ගේ කෝපන්හේගන් විවරණයට පටහැනි බවත් ඉන් යථාර්ථවාදය තහවුරු වන බවත් යෑයි අයින්ස්‌ටයින් කියා සිටියේ ය. එමෙන් ම අනෙක්‌ අතට අංශු දෙක අතර සන්නිවේදනයක්‌ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදු වන බවත් ඉන් ගම්‍ය වන්නේ යෑයි පැවසූ අයින්ස්‌ටයින් තම සාපේක්‍ෂතාවාදය අනුව එය එසේ සිදු විය නො හැකි යෑයි කියා සිටියේ ය. බෝර් ඒ පිළිබඳ ව කියා සිටියේ පැටළුණු අංශූ එක්‌ සමස්‌ත පද්ධතියක්‌ මිස අංශු දෙකක්‌ නො වන බව ය. සමස්‌ත පද්ධතියක අංශු එකිනෙකින් කෙතරම් දුරෙන් පිහිටිය ද ඒවා පද්ධතියක්‌ ලෙස එකට ක්‍රියා කරන බව බෝර් කියා සිටියේ ය. මේ පරස්‌පරයට පසු කලෙක ජෝන් බෙල් නම් අයිරිස්‌ ජාතික භෞතික විද්‍යාඥයා ගණිතමය ප්‍රකාශනයක්‌ ලබා දුන්නේ ය. එය අද බෙල් අසමානතා නමින් හැඳින්වෙයි. මෙරට යථාර්ථවාදීන් නො දැන සිටිය ද 1982 දී පමණ ප්‍රංශ ජාතික ඇස්‌පෙ හා පිරිස විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු පැටළුණු අංශු අතර සන්නිවේදනයක්‌ වන බවත් අයින්ස්‌ටයින්ට වඩා බෝර් කී දේ පිළිගත හැකි බවත් අඩු ම තරමෙන් ස්‌ථානීය යථාර්ථයක්‌ නැති බවත් බටහිර භෞතික විද්‍යාඥයන් සුළු පිරිසකට වුවත් වැටහී ඇත.

එහෙත් බෝර් නිවැරැදි බවක්‌ මෙයින් ගම්‍ය නො වේ. අංශු පද්ධතියක්‌ ලෙස ගත්ත ද ඒ අතර අන්තර් ක්‍රියාවක්‌ වන්නේ කෙසේ ද යන්න ඔහු විස්‌තර නො කළේ ය. එහෙත් අපට වඩා වැදගත් වන්නේ පැටළුණු අංශු අතර ක්‍රියාකාරීත්වය විශේෂ සාපේක්‍ෂතාවාදය සමඟ නො ගැලපීම ය. අද වන විට න්‍යqටීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බවට තොරතුරු ලැබෙමින් පවතියි. බෝර් කෙසේ කීවත් පැටළුණු අංශු අතර අන්තර් ක්‍රියා ක්‍ෂණිකව සිදු නො වී ආලෝකයට වැඩි වේගයකින් සුළු වුවත් යම්කිසි කාලයකින් පසුව සිදු වන්නේ යෑයි විශ්වාස කළ හැකි ය. මේ පිළිබඳ පත්‍රිකාවක්‌ මෙවර කැලණිය විශ්වවිද්‍යාලයයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදයට ඉදිරිපත් කෙරෙයි. මේ සියල්ලෙන් කියෑවෙන්නේ බටහිර විද්‍යාඥයන් ගේ ඒකිකෘත ප්‍රවාදය ඉටු නො වන මංගල්‍යයක්‌ බව ය.

මහාචාර්ය නලින් ද සිල්වා

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු