ප්‍රේක්‍ෂකයා මායාව හා යථාර්ථය අතර අතරමං කරන දෘශ්‍ය මාධ්‍ය ප්‍රවෘත්

රූපවාහිනි වැඩසටහනක්‌ විකාශය කිරීමට පෙර සංවේදී පිරිස්‌ හා ළමයින් තිරය ඉදිරිපසින් ඉවත් කරන ලෙස පැවසීමේ මාධ්‍ය සම්ප්‍රදාය අප විසින් අත්විඳිනු ලැබුවේ, යකුන් ගස්‌ බඩගාන ජාමයේ විකාශනය වූ චැනල් 4 නාළිකා වැඩසටහන් තුළිනි. කෙසේ වෙතත් කූප්‍රකට චැනල් 4 වැඩසටහන් පිළිබඳව බ්‍රිතාන්‍ය ප්‍රේක්‍ෂකයන් ඉන් අනතුරුව දැක්‌වූ ප්‍රතිචාරයන් මෙරට බොහෝ පිරිස්‌ නො දන්නා තවත් එක්‌ කතාන්දරයකි. ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන්, ජනමාධ්‍ය හරහා සෘජුව ම ප්‍රකාශ කර සිටියේ, ප්‍රේක්‍ෂකයා අපහසුතාවට පත් කරන එවන් වැඩසටහන් විකාශය බ්‍රිතාන්‍ය බහුජන මාධ්‍ය සම්ප්‍රදායට ඉඳුරා ම පටහැනි බවකි. ඔවුන් තවදුරටත් පවසා සිටියේ "බඩ දඟලවන" එකී වැඩසටහන් මගින් මූලික ප්‍රේක්‍ෂක අයිතිවාසිකම් ද උල්ලංඝනය වූ බවකි. එකී ප්‍රතිචාරයන් මඟින් සංකේතවත් වන්නේ නිරන්තරයෙන් ආඥාදායකත්වයක්‌ පතුරුවා හරින රූපවාහිනි මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් කෙරෙහි කිසියම් බලපෑමක්‌ ඇති කරලීමටත් එයට එරෙහි ව යැමටත් හැකියාවක්‌ සහිත සංවේදී බ්‍රිතාන්‍ය රූපවාහිනි ප්‍රේක්‍ෂකාගාරයක පැවැත්ම ය.

ඔරිජිනල් සුද්දන්, තමන් ගේ ම චැනල් 4 වැඩසටහන් කෙරෙහි දැක්‌වූ එකී දෘඪ ප්‍රතිචාරයන්, රූපවාහිනිය ජීවිතයේ කොටසක්‌ බවට ම පත් කරගත් නිර්වින්දනයට ලක්‌ වූ ලාංකික ප්‍රේක්‍ෂකයාට ද වැදගත් වෙයි.

අනුකාරක ලාංකික විද්යුත් මාධ්‍ය ද හිටි අඩියේ රූපවාහිනි ප්‍රවෘත්ති වැඩසටහන්වලට පෙර, දරුවන් තිරය අසලින් පලවා හරින ලෙසට විධානයන් දීම ඇරඹුවේ චැනල් 4 පූර්වාදර්ශයක්‌ කරගනිමින් ද යන්න අපැහැදිලි වුව ද, අද්‍යතනයේ අප අත්විඳින රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයන්හි ගුණරුව පිළිබඳව විමර්ශනයක්‌ කිරීම පිණිස, එය අපට ප්‍රශස්‌ත නිමිත්තක්‌ සපයා දී තිබේ.

අසූව දශකයේ පාසල් ගුරු භවතුන් සමස්‌ත ශිෂ්‍ය ප්‍රජාව වෙත දැඩිව අවධාරණය කර සිටියේ (ජාතික පුවත්පත් කතුවැකි හැරුණු කල) දිනපතා විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති විකාශයන් වෙත ද ඇහුම්කන් දිය යුතු බවකි. නිවැරැදි වියරණය, භාෂාවේ විලාශය මෙන්ම වදන් උච්චාරණය යන සන්නිවේදනයේ බොහෝ මූලිකාංගයන් පිළිබඳව පරිචයක්‌ ලබා ගැනීමටත්, විශ්ව දැනුම ලබා ගැනීමේ කවුළුවක්‌ ලෙසිනුත් ප්‍රවෘත්ති විකාශනයන්හි සම්භාවනීය වූ වැදගත්කමක්‌, එකී යුගය තුළ පැවතිණි.

කෙසේ වෙතත් සංවර බවක්‌ හා හික්‌මීමක්‌ ප්‍රවෘත්ති විකාශයන් තුළින් දැකගත හැකි වුව ද, රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ප්‍රවෘත්ති විකාශයන් රාජ්‍ය ගැති, පාලක දේශපාලක පක්‍ෂයන්හි හොරණෑ බවට එකල ද පත් ව තිබූ බව ද සැලකිය යුත්තකි.

ඉන්පසු යුගය තුළ උදා වූ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් හා සමගාමීව බුරුතු පිටින් පෞද්ගලික ගුවන්විදුලි නාළිකා මෙන්ම රූපවාහිනි නාළිකාවන් ද බිහි විය. සරල විනෝදාස්‌වාදය, මෙකී සියලු මාධ්‍ය ආයතනයන්හි මුඛ්‍ය තේමාව වූ අතර එතෙක්‌ රාජ්‍ය විද්යුත් මාධ්‍ය ආයතන විසින් පවත්වා ගන්නා ලද මාධ්‍ය අධිකාරීත්වය ඔවුන් වෙතින් ගිලිහී ගියේ ය. වාණිජමය පරමාර්ථ මත බිහි වූ පෞද්ගලික විද්යුත් මාධ්‍යයන් ද "ප්‍රවෘත්ති කියවිල්ල" ඉන් අනතුරුව ඇරඹූ අතර, ප්‍රේක්‍ෂකයා හමුවේ ඔවුන් ප්‍රකාශ කර සිටියේ තමන් රාජ්‍ය පාලන තන්ත්‍රයේ ගැත්තන් නො වන බවත් එහෙයින් ම ඔවුන් ගේ "කිලිටි රෙදි ද නො සෝදන" බවත් ය. තමන්ට ශක්‌තිමත් කොඳු නාරටියක්‌ ද පවතින හෙයින් සැම විට ම අපක්‍ෂපාතී වූත්, සමබර වූත් ප්‍රවෘත්ති, සොඳුරු බව ද තවරා එසැනින් ප්‍රේක්‍ෂකයා හා ශ්‍රාවක ප්‍රජාවන් වෙත රැගෙන එන බවකි.

දේශපාලනීකරණය වූ රාජ්‍ය ප්‍රවෘත්ති විකාශයන් කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටී තිබූ වකවානුවක්‌ තුළ, මෙරට ජනතාව පෞද්ගලික විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති විකාශනයන් හා රොද බැඳගත්තේ සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ය.

සත්‍යයේ මුර දේවතාවන් ලෙසින්, ජනතාව ඉදිරියේ රංගනයෙහි යෙදුණ ද මෙකී සියලු පෞද්ගලික මාධ්‍ය ආයතනයන්ට ද තිරය පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයන් ආරම්භයේ සිට ම පැවතිණි. පක්‍ෂග්‍රාහී නො වන බව පැවසූ මාධ්‍ය ආයතන තමන් දණ්‌ඩ නමස්‌කාරයෙහි යෙදෙන දේශපාලකයන් වෙනුවෙන් "කඩේ යැමෙන්" නො නැවතී සුපර්මාකට්‌ බඩු ට්‍රොලිය ද තල්ලු කරන බව ප්‍රේක්‍ෂකයන් හට ගෙවී ගිය සැම මැතිවරණ සමයක්‌ තුළ දී ම දැක ගැනීමට ලැබිණි.

මෙරට තුළ පවතින සීමිත සන්නිවේදන වෙළෙඳ අවකාශයට ඔරොත්තු නො දෙන තරමට විද්යුත් මාධ්‍ය ආයතනයන් බිහි වීම තුළ ග්‍රාහක ආකර්ෂණය රඳවා ගැනීම මාධ්‍ය ආයතනවලට ගැටලුවක්‌ බවට පත් විය. (සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට සමස්‌ත දිවයින ම ආවරණය කරන ගුවන් විදුලි නාළිකා 25ක්‌ පමණ ද, රූපවාහිනි නාළිකා 15ක්‌ පමණ ද පවතියි.) මෙකී පසුබිම තුළ ග්‍රාහක පිරිස්‌ තම වැඩසටහන් කෙරෙහි ආකර්ෂණය කර ගැනීම පිණිස මාධ්‍ය ආයතන අතර පවතින අරගලය මේ වන විට දරුණු (බලු) පොරයක්‌ බවට ම පත් ව තිබේ. එය මෙගා ටෙලිනාටකයේ සිට රියෑලිටි වැඩසටහන් දක්‌වාත් ඉන් අනතුරුව ප්‍රවෘත්ති විකාශය දක්‌වාත් දුරදිග ගොස්‌ තිබේ.

ප්‍රවෘත්ති කලාවේ එක්‌ මූලික ආචාරධර්මයක්‌ වන්නේ වාර්තා කරන කරුණු නිවැරැදි හා සමබර විය යුතු බව ය. එහෙත් මෙකී නව මාධ්‍ය සංස්‌කෘතිය තුළ අනෙකුත් වැඩසටහන් හැරුණු කල රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයන් ද තවදුරටත් වගකීමක්‌ නිවැරැදි බවක්‌ හෝ අපක්‍ෂපාතී බවක්‌ සහිතව ඉදිරිපත් කිරීම වෙනුවට, ප්‍රේක්‍ෂක ආකර්ෂණය රඳවා ගැනීම පිණිස සිල්ලර විනෝදය අරමුණු කරගත් (Infotainment) ප්‍රකාශයක්‌ බවට ම පත් ව තිබේ.

මෙකී පසුබිම තුළ ප්‍රවෘත්ති නිවේදකයන් ද, තවදුරටත් යහපත් සන්නිවේදකයන් නො වූ අතර ම ජනතාවට "ආතල්" සපයන්නන් (Infotainers) බවට රූපාන්තරණය වී තිබේ. ප්‍රවෘත්ති වෙළෙඳාමක්‌ බවට පත් වූ ලාංකික රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ පැහැදිලි අරමුණු දෙකක්‌ හඳුනාගත හැකි වෙයි.

තම ප්‍රවෘත්ති විකාශයන් කෙරෙහි අඛණ්‌ඩ පේක්‍ෂක සමූහයක්‌ පවත්වා ගැනීමත්, ඒ හරහා වැඩි වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාවක්‌ ලබාගැනීමත් තුළින් උපරිම ලාභයක්‌ අත්පත් කර ගැනීම එකී අරමුණු වෙයි.

මෙකී ව්‍යාපාරික ඉලක්‌කයන් හඹා යැම තුළ, යහපත් අරමුණක්‌ වෙනුවෙන් සාධක සහිතව තොරතුරු සැපයීමේ මාධ්‍ය සදාචාරය (Objective Journalism) තවදුරටත් වලංගු නො වන තැනට කටයුතු සිදු ව තිබේ.

ප්‍රවෘත්ති හා වෙළෙඳ දැන්වීම් අතර පැහැදිලි දෙබෙදුම් රේඛාවක්‌ පැවැති අතීත යුගය තුළ විකාශය කෙරෙන ප්‍රමුඛ හෝ අවශේෂ ප්‍රවෘත්ති සඳහා වෙළෙඳ අනුග්‍රාහකයන් අවැසි නො විණි. සියලු වෙළෙඳ දැන්වීම් ප්‍රවෘත්ති විකාශයන් වෙතින් පලවා හරිනු ලැබූ අතර, වාණිජ වැඩසටහන් සඳහා කටහඬ මුසු කළ ප්‍රවීන නිවේදකයන් පවා ප්‍රවෘත්ති විකාශයන් වෙතින් ඉවත් කොට තැබූ මාධ්‍ය සම්ප්‍රදායක්‌ ද මෙරට තුළ පැවැති යුගයක්‌ තිබිණි. වර්තමානයේ ප්‍රවෘත්ති සඳහා අනුග්‍රහය දක්‌වන්නන් අතර, වශී ගුරුකම් කරන කට්‌ටඩියන් හා මහජන ඡන්දය සිඟා කෑමේ යෙදෙන දේශපාලක යාචකයන් ද ප්‍රවෘත්ති විකාශය අතරමඟ දැකගත හැකි වෙයි.

වැඩි ලාභයක්‌ අත් කර ගැනීම පිණිස එක ම ප්‍රවෘත්තිය "කොටස්‌ වශයෙන්" විකාශය කිරීමත්, කුතුහලය දනවන ව්‍යාජ විද්‍යාත්මක අනාවරණයන් (Oseydi Scuebtufuc ckauns) සඳහා ප්‍රමුඛතාවක්‌ ලබාදීමත් මේ වන විට දැකගත හැකි ව තිබේ.

ගෞරවයට පාත්‍ර විය යුතු වයෝවෘද්ධයන් පවා "රියෑලිටි විහිළු" බවට පත් කරමින් ප්‍රේක්‍ෂක අවධානය රඳවා තබා ගැනීමට ප්‍රයත්න දැරීමත් නොවැදගත් සිදුවීම් අතිසංවේදීකරණය කරමින් කම්පන අගයක්‌ (Shock value) ලබා දීමත් දෛනකිව දැකගත හැකි රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රයෝගයන් ලෙසින් හඳුනාගත යුතු ව තිබේ. විවිධ සමාජ අසාධාරණයන්ට ලක්‌ වන්නන් සෘජු ව ම හඳුනාගත හැකි වන අයුරින්, පෞද්ගලිකත්වයන් හෙළිදරව් කිරීමත් වර්තමානයේ සාමාන්‍ය අංගයක්‌ බවට පත් ව තිබේ.

ආවරණය නො කරන ලද මළ සිරුරු, රුධිර පැල්ලම් හා ප්‍රවෘත්ති විකාශයන්හි ආරම්භයේ ප්‍රමුඛ පුවත් (Lead news) හා මුදාහරින මිනිස්‌ මරලතෝනි හා විලාපයන්හි ශ්‍රව්‍ය හා දෘශ්‍යමය භාවිතයන් අනුමත කළ හැකි නො වේ.

අන්තර්ජාතික මාධ්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ක්‍ෂණිකව ඡේදනය වන රූපරාමු සහිතව, ප්‍රවෘත්ති කම්පන අගය වැඩි කරලීම ප්‍රේක්‍ෂක අවධානය අඛණ්‌ඩව රඳවා තබා ගැනීමට ඉවහල් වන බවකි. එහෙත් එවන් ක්‍රමවේදයන් තුළ ප්‍රබල රූපවාහිනි මාධ්‍ය ඔස්‌සේ සමස්‌ත සමාජය තුළ ඇති කරවන මානසික ප්‍රකම්පනය හා භීතිය සාධාරණීකරණය කළ නොහැකි අතර ම එවන් ක්‍රියාකාරකම්වලට කොන්දේසි විරහිතව එරෙහි විය යුතු ව තිබේ.

නව මාධ්‍ය ප්‍රවනතාවන් හමුවේ දේශපාලකයන් ද තවදුරටත් දේශපාලන චරිතයන් නො වූ ජනප්‍රිය (මෙගාස්‌ටාර්) තලයකට ඔසවා තබා තිබේ. වඩාත් හොඳින් බලන කල ඇතැම් දේශපාලකයන් විද්යුත් මාධ්‍යයන්හි ජනප්‍රියතාව හා පැවත්ම තීන්දු කරවන සාධකයක්‌ බවට පත් ව තිබේ. තවත් විටක දී වත්මන් දේශපාලකයන් ගේ පැවැත්ම තීන්දු කරවීම ද විද්යුත් මාධ්‍ය මගින් ඉටු කරනු ලබයි. රියෑලිටි කැමරාව ඉදිරියේ සිල්ලර දේශපාලකයා ජනතාවට තග දමන්නේත් නාළිකාවේ අභිමතයට අනුව කවි සිංදු කියන්නේත් මෙකී සහජීවන රිද්මයට අනුව ය.

බිහි වී ඇති නව දෘශ්‍යමාන සංස්‌කෘතිය තුළ ප්‍රවෘත්ති නිවේදකයන් ගේ භාෂා ශෛලිය ද ප්‍රාසාංගික විහිළුවක්‌ බවට පත් වන අතර ම ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්ති තෝරා ගැනීම ද නාළිකාවේ අභිමතය පරිදි වාණිජමය වටිනාකම මත රඳා පවතිනු ලබයි.

මෙවන් සන්දර්භයක්‌ තුළ සත්‍යය හා සංකීර්ණ සමාජ ගැටලු මතුපිටින් පෙන්වන නොගැඹුරු රූපයන් බවට පත් කිරීමත්, ප්‍රේක්‍ෂක මනස සංවාදශීලී තලයක්‌ වෙත යොමු කරවීම වළක්‌වාලීමත් සිදු කරනු ලබයි. ඒ අනුව රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයන් මගින් ප්‍රවෘත්ති පමණක්‌ නො ව බහුතර ප්‍රේක්‍ෂකයා ද ඔවුනට අභිමත ලෙසින් හසුරුවා ලනු ලබයි.

රූපවාහිනි ප්‍රවෘත්ති යනු ප්‍රේක්‍ෂක බුද්ධියට නො ව හැඟීම් වෙත ආමන්ත්‍රණය කරන මාධ්‍ය සංදර්ශනයන් (media show) හැරෙන්නට තවත් දෙයක්‌ නො වේ. ගැඹුරක්‌ නොමැති, අඛණ්‌ඩ ප්‍රවෘත්ති ප්‍රවාහයක්‌ මතුපිටින් ස්‌පර්ශ කිරීම තුළ ප්‍රේක්‍ෂකයා ද මායාව හා යථාර්ථය අතර අතරමං කරවීම තුළ සමාජීය හා දේශපාලනික වශයෙන් නිද්‍රොaපගත කරවනු ලැබ තිබේ.

මෙරට තුළ බිහි විය යුත්තේ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක්‌ පමණක්‌ නො වේ. "වැල් ටෙලිනාටකයේ" ප්‍රමිතිය හා පාලනය පමණක්‌ පිළිබඳව සිදු කරන පටු කතිකාවෙන් ඔබ්බෙහි පිහිටි විද්යුත් මාධ්‍ය කතිකාවක්‌ තුළ රූපවාහිනි ප්‍රවෘත්ති කලාව ද ස්‌ථානගත කළ යුතු ව තිබේ. ගුණාත්මක ප්‍රවෘත්ති කලාවක්‌ උදෙසා, රූපවාහිනි ප්‍රවෘත්තිය සඳහා ද නියාමනයක්‌, ප්‍රමිතිකරණයක්‌, ඇගයීමක්‌ මෙන්ම වාරණයක්‌ ද අත්‍යවශ්‍ය වෙයි.

එතෙක්‌ සැම රාත්‍රියක ම ඔවුහු හෙට දවසේත් හමු වන බලාපොරොත්තුවෙන් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති විකාශයක්‌ "ආතල්" සහිතව ම නිමා කරනු ඇත.

ළමා වැඩසටහන්වලටත් ප්‍රමිතියක්‌ තිබීමේ වැදගත්කම

ළමා චිත්‍රපටයක්‌ ලෙස හැඳින්වූ "පුංචි සුරංගනාවී" මෙරට රූපවාහිනි නාළිකාවක්‌ ඔස්‌සේ විකාශනය වූයේ පසුගිය සති අන්තයක දී ය. ළමා චිත්‍රපටයක්‌ ලෙසින් වැරැදි අර්ථකථනයක්‌ ලබා දී තිබුණ ද එය ළමා නළු නිළියන් උපයෝගී කරගනිමින් බිහි කරන ලද "වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිප්‍රපටයක්‌ පමණි. එහි වූ දෙබස්‌ රචනය හා රූප රචනයන් ළමා මනසට නො ගැලපෙන බව තේරුම් ගන්නට කිසිවකුත් චිත්‍රපට විචාරකයකු බවට පත් විය යුතු ද නො වේ.

ගැටලුව ඇති වන්නේ මනසට නො ගැලපන චිත්‍රපට ද ළමා චිත්‍රපට යන ව්‍යාජයෙන් රූපවාහිනිය වැනි ප්‍රබල දෘශ්‍ය මාධ්‍යයක්‌ තුළ විකාශය වීම ය. මේ එක්‌ නිදසුනක්‌ පමණි. එවන් සන්දර්භයක්‌ තුළ මෙරට දෘශ්‍යමාධ්‍ය අංශයන්හි ළමා වැඩසටහන් අංශයන්හි නො මේරූ ක්‍රියාකාරීත්වය පොදුවේ ප්‍රශ්න කළ යුතු ව තිබේ.

අතුරු ගැටලුවක්‌ ලෙස මතු වන්නේ මෙරට රූපවාහිනි නාළිකා මඟින් විකාශය කෙරෙන ඇතැම් කාටුන් වැඩසටහන් කුඩා දරුවන් උදෙසා ද යන්න ය. වඩාත් හොඳින් බලන කල මෙරට විකාශය කෙරෙන ඇතැම් කාටුන් වැඩසටහන් වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ට පමණක්‌ බවත් භාෂා විලාශය ඇතැම් විටක වැඩිහිටියන්ට වුව දිරවාගත නොහැකි වන වන බවත් පෙනී යන්නකි.

ලොව විශිෂ්ටතම ළමා වැඩසටහන් රැසක්‌ දැකගත හැකි වන රූපවාහිනි නාළිකා අතර එක්‌සත් රාජධානියේ CBBC හා Cbeebies වැඩසටහන් ප්‍රමුඛතම ස්‌ථානයක්‌ හිමි කර ගනී.

Cbeebies වැඩසටහන්හි අන්තර්ගතය පදනම් වර්ධන අවධියෙහි (Foundation years) ගත කරන දරුවන් ගේ මූලික ගණිතමය හැකියාවන්, වචන උච්චාරණය, විවිධ වර්ණ හඳුනාගැනීම, ගායන හා ක්‍රීඩා කෞශල්‍යයන්හි උන්නතිය සඳහා යොමු කර ඇති අන්දම සිත්ගන්නාසුලු වෙයි. නිර්මණශීලී කුසලතා වර්ධනය, තමන් අවට ස්‌වාභාවික පරිසරය හඳුනාගැනීම මෙන්ම ළමා වියේ දී අවධානය යොමු කළ යුතු බොහෝ කොටස්‌ හරවත් ආකෘතියක්‌ මත ගොඩනංවා තිබේ.

Cbeebies ප්‍රධාන වශයෙන් වයස වසර එකත් හයත් අතර ළමයින් ඉලක්‌ක කරගන්නා විට CBBC නාළිකාව මඟින් ආමන්ත්‍රණය කෙරෙන්නේ හය හැවිරිදි වියත් දොළොස්‌ වසරත් අතර තීරයක වෙසෙන දරුවන් ය.

මෙරට විකාශය කෙරෙන ළමා වැඩසටහන්හි භාෂාවේ හැරුණු කල අවධානය යොමු කළ යුතු තවත් අංගයක්‌ වන්නේ එකී වැඩසටහන්හි පසුබිම් නාද රටාවන් ය.

ඝෝෂාකාරී වූත් ඒකාකාරී වූත් ප්‍රචණ්‌ඩ සංගීත රිද්මයන් ළමා මානසිකත්වය හා පෞරුෂ සංවර්ධනය පිණිස හිතකර නො වේ. ළමා මානසික සංවර්ධනය කෙරෙහි හිතකර වන්නේ සංයමයක්‌, සංහිදියාවක්‌ හා විවිධත්වයක්‌ සහිත නාද රටාවක්‌ පමණි. බහ තෝරන වියේ පසු වන දරුවන් විවිධ හැඩ හඳුනා ගන්නා අවධිය තුළ දී ම, ප්‍රචණ්‌ඩ, ඝෝෂාකාරී හඬ වෙත නිරාවරණය කරමින් ඔවුන් වියවුල් ස්‌වභාවයට පත් කිරීම ලාංකික ළමා කාටුන් වැඩසටහන් හරහා මැනැවින් සිදු කරනු ලබයි. ළමා වැඩසටහන් අතරතුර වෙළෙඳ දැන්වීම් හැරුණු කල තට්‌ටම් අඹරවමින් නර්තනයේ යෙදෙන මෙගාස්‌ටාර් අංගනාවන් දැකගත හැකි වන්නේ ද ලංකාවේ දී ම පමණි. (යුරෝපයේ බොහෝ රටවල් ළමා වැඩසටහන් අතරතුර වෙළෙඳ දැන්වීම් විකාශය කිරීම අත්හිටුවා ඇත්තේ මෙයට බොහෝ කලකට පෙර සිට ය)

මෙකී සියලු අංග සැලසුමකට හා එල්ලයකට ක්‍රියාත්මක වන බව ද පැහැදිලි ය. ඒ තුළ වෙළෙඳ අරමුණ හැරෙන්නට තවත් බොහෝ දේ ද තිබිය හැකි ය.

කුඩා දරුවකු දුටු විගස, මවු ඇකයෙන් උදුරා දරුවන් හුරතල් කරන දේශපාලන ප්‍රජාවක්‌ ද ලංකාවේ සිටිනු දැකගත හැකි වෙයි. ඔවුහු ලාංකික දරුවන් හට සැබැවින් ම ආදරය කරන්නෝ ද?

ප්‍රවෘත්ති කැමරා ඉදිරියේ සිදු කරන හුරතලයන් හැරෙන්නට කළ හැකි බොහෝ දේ නො තිබේ ද?


අද සතියේ විමසුම
කායික රෝග විශේෂඥ වෛද්‍ය
වරුණ ගුණතිලක

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු