පෙනීම යන්න, අනෙක්‌ ඉන්ද්‍රිය හතරෙන් විස්‌තර කර දෙන තුරු නො පිළිගන්නා බව කියන අන්ධයෝ



ඊනියා හරිත විප්ලවයත් සමග මෙරටට ගෙනැවිත් අපේ පරිසරයට එක්‌ කරනු ලැබූ විවිධාකාර වස විස සහිත කෘමිනාශක, වල්නාශක ආදිය නිසා වන්නා වූ නස්‌පැත්ති පිළිබඳව මෙතෙක්‌ නො වූ විරූ ආන්දෝලනයක්‌ මෙවර ආසනික්‌ අර්බුදය සමග ගොඩනැඟී ඇත. මීට පෙර ද විවිධ පර්යේෂණ/පර්යේෂණ පත්‍රිකා ආදිය මගින් මේ වසවිස පිළිබඳව විවිධ දෑ එළිදරව් වී ඇතත් අද තත්ත්වය සුවිශේෂී වේ. ඒ අන් කිසිවක්‌ නිසා නො ව අද මේ සඳහා සම්‍යක්‌දෘෂ්ටික දෙවියන් ද සබැඳී ඇති නිසා සහ රටේ විද්‍යාඥයන් ය යන සම්මතයෙන් බැහැර කළ නොහැකි පිරිසක්‌ මගින් එහෙත් සාමාන්‍ය "විද්‍යාත්මක ක්‍රමවේද"වලට පටහැනි ව මේ ප්‍රතිඵල කලඑළි බැස ඇති නිසා ය.

මේ හෙළිදරව්ව කළ පිරිසට අනුව (ඔවුන් පුවත්පත්වලට සැපයූ තොරතුරු අනුව) ඔවුනට මූලික වශයෙන් වකුගඩු (රජරට) රෝගයට හේතුව ආසනික්‌ ය යන "ඉඟිය" ලැබී ඇත්තේ මතු බුදු වන නාථ දෙවියන් ගෙනි. අනතුරුව ඔවුන් සම්මත විද්‍යා ක්‍රම ඔස්‌සේ ඒ බැව් තහවුරු කර ගැනීමට උත්සාහ ගෙන ඇත. එම උත්සාහයන් ගේ ප්‍රතිඵල ද ඔවුන් ප්‍රකාශ කර ඇත. එහෙත් මෙසේ ප්‍රකාශයට පත් කෙරුණේ පිළිගත් විද්‍යාත්මක සන්දර්භයන් තුළ පිළිගත් ක්‍රියාපටිපාටි අනුගමනය කෙරුමෙන් නො වේ. මේ රටේ අනෙක්‌ බොහෝ විද්‍යාඥයන්ට මහත් ගැටලුවක්‌ වූයේ එයයි. එහෙත් අපට ඇති ප්‍රබල ගැටලුව වන්නේ මේ අනෙක්‌ විද්‍යාඥයන්ට මෙය මෙතරම් ගැටලුවක්‌ වූයේ ඇයි ද යන්න ය. ඔවුන් ගේ විද්‍යාවේ භාෂාවෙන් (රසායන විද්‍යා, වෛද්‍ය විද්‍යා, පාංශු විද්‍යා ආදී) මේ පිරිස මේ ප්‍රතිඵල දැක්‌වූ නිසා ඔවුන්ට තිබුණේ එම ප්‍රකාශ, ප්‍රතිඵලවල සත්‍යාසත්‍යතාව තම තම විද්‍යා දැනුම් ඔස්‌සේ විමසා බැලීම ය. සාමාන්‍ය ගැමියකු යම් විද්‍යාත්මක කාරණාවක්‌ ගෙනහැර දැක්‌වුව හොත් ඔවුන් එය ද පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද (සාම්‍ය සමාලෝචන ආදී..) ඔස්‌සේ ඔවුන් අතට පත් වන තුරු බලා සිටිනවා ද? විද්‍යා සමාජයේ පිළිගත් පටිපාටිය අනුගමනය කෙරෙන තෙක්‌ විද්‍යාත්මක දෙයක්‌ පිළිබඳව සොයා බලන්නේ නැති ද? එයත් විද්‍යාත්මක ක්‍රමයේ ම කොටසක්‌ ද? අපට දැනෙන පරිදි නම් සැබෑ විද්‍යාඥයකු (විද්‍යාර්ථියකු) කළ යුත්තේ කවර ආකාරයකට හෝ අවම වශයෙන් තම ක්‍ෂේත්‍රයට අදාළ කරුණක දී තම දැනුම යොදා ඒ පිළිබඳව මනා ලෙස විමැසීම ය, පර්යේෂණ කිරීම ය.

ඇත්තට ම මේ කැලණිය සරසවියට සබැඳි කණ්‌ඩායම තම ප්‍රතිඵල වා, පිත්, සෙම්, ආපෝ, තේජෝ, වායෝ ආදී බටහිර විද්‍යාවෙන් බැහැර සංකල්ප ඔස්‌සේ විග්‍රහ කර තිබුණේ වුව ද අනෙක්‌ විද්‍යාඥයන්ට තිබුණේ තම දැනුම් ඔස්‌සේ ද මේ පිළිබඳව විමසා බැලීම ය. එහෙත් ඔවුන් ගේ සංකල්ප ඔස්‌සේ ම මේවා ඉදිරිපත් ව තිබිය දී පවා ඔවුන් එය කළේ නැත.

නූතන බටහිර විද්‍යාවනට අනුව ගත් කල මේ පර්යේෂණ කණ්‌ඩායම මගින් දක්‌වා ඇති ආසනික්‌ කිවුල් ජලයේ පැවතීම, ඒ සඳහා අදාළ පසේ දායකත්වය, ආසනික්‌ සංයෝග ලෙස හෝ/ හා අයන ලෙස සිරුර තුළ ක්‍රියාත්මක වී අදාළ වකුගඩු අක්‍රිය වීම ආදිය පිළිබඳව කප්පරක්‌ පර්යේෂණ කළ හැකි ය. එසේ නම් ඔවුන් මේවා නො කර වෙනත් දෑ කියමින් මෙසේ හැසිරෙන්නේ ඇයි?

ඇත්තට ම අපට පෙනෙන පරිදි නම් මෙවැනි ජෛව-රසායනික සංසිද්ධියක්‌ සම්බන්ධයෙන් ගත් කල එම අදාළ කාරණා සනාථ කිරීමට හෝ අනාථ කිරීමට හෝ නිශ්චිත විධික්‍රමයක්‌ නැත. මේ සම්බන්ධව (එනම් විවිධ ලෙඩ රෝග රසායන ද්‍රව්‍ය, පරිසර ස්‌වභාවය, ආදිය සබැඳි) විවිධ පර්යේෂණ පත්‍රිකා අපිදු කියවා ඇත්තෙමු. එහෙත් ඒවායේ අදාළ නිගමනයට එළැඹීම සඳහා යොදා ගෙන ඇති නිශ්චිත විධික්‍රමය කුමක්‌ ද? මේවායේ යොදාගෙන ඇති එක ම විධික්‍රමය වන්නේ අදාළ ආශ්‍රිත ලිපි ලේඛන, පුද්ගලයන් ආදිය ගෙන හැර දැක්‌වීම මගින් සහ අදාළ විද්‍යා සන්දර්භ, මණ්‌ඩල (අපේ විද්‍යාභිවර්ධන සංගමය වැනි) තුළ සාකච්ඡා කෙරුම මගින් විද්‍යාඥයන් ගෙන් සමන්විත විද්‍යාත්මක ප්‍රජාව තුළ යම් විශ්වසනීය හැඟීමක්‌ ඇති කෙරුම පමණි. එයට ඔවුහු විද්‍යාත්මක ක්‍රමය යෑයි කියති. කැලණියේ කණ්‌ඩායම මේ ක්‍රමය අනුගමනය කළේ නැත. ගැටලුව එයයි.

ජෛව-රසායන සංසිද්ධීන් ආශ්‍රිත නිගමනවලට එළඹීමේ දී බොහෝ විට යොදා ගන්නේ සංඛ්‍යානයයි. (Statistics), බටහිර විද්‍යාවලට ම අනුව පරාමිති ලක්‍ෂ ගණන් සබැඳෙන මෙවැනි සංසිද්ධියක්‌ පිළිබඳව පරාමිති කීපයක්‌ ඇසුරු කර ගත් සංඛ්‍යාත්මක ක්‍රමවේදයක්‌ ඔස්‌සේ නිගමනවලට එළඹිය හැකි ද? මෙවැනි දෑ (එනම් අසවල් රසායනය අසවල් රෝගයට හේතු වනවා ද නැත් ද ආකාරයේ) සම්බන්ධයෙන් අද පවා ලෝකයේ මෙතරම් වාද විවාද ඉහළ ම පෙළේ විද්‍යාඥයන් අතර පවා ඇත්තේ ඇයි?

අප මීට පෙර ද පෙන්වා දී ඇති පරිදි බටහිර භෞතික විද්‍යාවට වුව හැක්‌කේ බොහෝ දෑ ඇති වූ පසු සිදු වන්නේ කුමක්‌ ද යන්න විස්‌තර කෙරුම ය. (භූමිකම්පා, නියඟ ආදිය ගැන සිතා බලන්න). එසේ නම් ජෛව-රසායන විද්‍යාව වැනි පණ ඇති සතුන් (මිනිසුන්) ජීවීන් සහ විවිධ රසායන ද්‍රව්‍ය කෝටි ගණන් ඇති පස ආදිය සබැඳි දෑ පිළිබඳව කියෑවෙන විද්‍යාවක තත්ත්වය කෙබඳු විය හැකි ද?

බටහිර විද්‍යාවට (විශේෂයෙන් මෙහි දී වඩාත් අදාළ පාංශු, ජෛව රසායන) නිශ්චිත (නිශ්චිත යන්න අවධාරණය කරමි) විධික්‍රමයක්‌ ඇත්නම් මෙරට විද්‍යාඥයන් වහා ම කළ යුතු ව තිබුණේ මේ අදාළ කාරණා ඉදිරිපත් කරන්නේ දෙවියන් ද, භූතයන් ද, විද්‍යාව (බටහිර) විවේචනය කරන්නකු ද ආදිය පිළිබඳව සෙවීම නො ව අදාළ නිශ්චිත විධික්‍රමය භාවිත කරමින් ඒ කාරණා සොයා බැලීම ය. භෞතික විද්‍යාවට (නිව්ටෝනීය) අදාළ යම් යම් කාරණාවල දී, එනම් විවිධ අය ඉදිරිපත් කළ විවිධ ආචරණවල දී ඒ පුද්ගලයන් පිළිබඳව හෝ ඒ ඉදිරිපත් කළ ආකාරය නො සොයා අපි අදාළ කාරණාව සොයා බලා අදාළ විග්‍රහයන් කර ඇත්තෙමු. ඇතැම් පර්යේෂණායතනයක වසර විසි ගණන් ඇදි ඇදී තිබුණු ගැටලු නිශ්චිතව විසඳුම් දී අවසන් කළෙමු.

එහෙත් එවැනි නිශ්චිත විධික්‍රම අනෙක්‌ විද්‍යාවන්වල නැත. ආසනික්‌ ගැටලුවේ දී අදහස්‌ දක්‌වන මෙරට බොහෝ විද්‍යාඥයන් අමාරුවේ වැටී ඇත්තේ මේ නිසා ය. ඔවුන් දැන් වත් කළ යුතු වන්නේ මෙවැන්නක්‌ පිළිබඳව නිශ්චිත නිගමනවලට එළැඹිය හැකි විධික්‍රමයක්‌ හැකිනම් ගොඩනඟා ගැනීම ය. එය අතිශය නිර්මාණශීලී කටයුත්තක්‌ වනු ඇත. එය ඇත්තට ම ආසනික්‌ ගැටලුව ඔස්‌සේ ගොඩනැඟෙන නවමු දාර්ශනික ප්‍රවේශයක්‌ ද වනු ඇත. මේ කෙසේ වුවත් විද්‍යාත්මක ප්‍රජාව කවරක්‌ ප්‍රකාශ කළ ද මෙරට ගොවිතැනේ වස විස පිළිබඳව ගොවීන් සහ සාමාන්‍ය ජනතාව අතර මෙතෙක්‌ නො වූ ආකාරයේ පිබිදීමක්‌ ඇත. එය ඉතා වැදගත් ය. මේ වස විස අර්බුදය නිශ්චිතව දැනෙන්නේ සමස්‌තය ගැන හොඳ දැකීමක්‌ ඇති දෙවියනට විය යුතු ය යන්න විශ්ලේෂීයව තේරුම්ගත නොහැකි ය. දෙවියන් ගේ ප්‍රවේශයෙන් විය යුතු දේ වෙමින් පවතී. මෙමගින් මතු කෙරෙන විද්‍යාවට අදාළ දාර්ශනික ගැටලු විමැසීම ද අතිශය වැදගත් ය.

ඉහත සියල්ලෙන් කියෑවෙන්නේ ආසනික්‌ ගැටලුව වැනි ඒවායේ දී බටහිර ජෛව-රසායන ආදි විද්‍යාවන් මුළුමනින් ම බැහැර ලිය යුතු බව නො වේ. එහෙත් අවසාන නිගමනයට එළඹීම සඳහා ඒවා පමණක්‌ ප්‍රමාණවත් නො වන බවයි. මේ සඳහා විධික්‍රම සකසාගත යුතු ය. පවතින නිශ්චිත විධික්‍රමයන් නොමැති තත්ත්වය තුළ වසර සිය ගණනක්‌ වුව වාද විවාද කළ හැකි මුත් කිසිදු එලයක්‌ නැත. මෙවැන්නක දී පංෙච්න්ද්‍රිය ඉක්‌මවා මනින්ද්‍ර§ය සබැඳ ගත යුතු ම ය. එසේ නො වී පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන තෙක්‌ මනින්ද්‍රිය නො පිළිගැනීම යන්න අන්ධයකු, ඇස්‌ පෙනෙන අයකු කියන දේ අනෙක්‌ ඉන්ද්‍රිය හතරෙන් විස්‌තර කරන තෙක්‌, තමා පෙනීම යන්න නො පිළිගන්නේ යෑයි කියන්නාක්‌ මෙන් වනු ඇත.

කපිල පීරිස්‌

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු