නැනෝ තාක්‌ෂණයේ පරිසර බලපෑම



නැනෝ තාක්‌ෂණය මේ වන විට ලෝකයේ දැඩි අවධානයකට ලක්‌ව ඇති නූතන විද්‍යාවේ නවත ම අංශයකි. එය ඉතා කුඩා පරිමාණයේ අංශු (නැනෝ මීටර් 1-100 අතර ප්‍රමාණයේ - එනම් මීටරයකින් බිලියනයකින් පංගු 1-100 අතර) ආශ්‍රිතව ක්‍රියාත්මක වන තාක්‌ෂණයක්‌ ලෙස හැඳින්විය හැකි ය. නැනෝ තාක්‌ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන විවිධ ද්‍රව්‍ය මේ වන විට වෙළෙඳපොළට එක්‌ වී තිබේ. රෝගාබාධ සම්බන්ධව ප්‍රතිකාර කිරීමේ දී ද කෘෂිකර්මයේ දී ද නැනෝ තාක්‌ෂණයේ ඇති ප්‍රයෝජන අති විශාල ය. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් නැනෝ තාක්‌ෂණය භාවිතය ප්‍රවර්ධනය පිළිබඳව උනන්දුව දක්‌වන බව පෙනේ. අනාගත ලෝකය නැනෝ තාක්‌ෂණය මත රැඳුණු ලෝකයක්‌ ලෙස හඳුන්වන අවස්‌ථා ද දැකිය හැකි ය.

කෙසේ වෙතත් අනෙක්‌ සෑම විද්‍යාවක්‌ හෝ තාක්‌ෂණයක්‌ හෝ මෙන් ම නැනෝ තාක්‌ෂණයේ ද හානිකර බලපෑම් තිබිය හැකි ය. එවැනි හානිකර බලපෑම් අතර නැනෝ දූෂණය හෙවත් නැනෝ පරිසර දූෂණය (Nanopollution) පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. මෙවැනි පරිසර දූෂණයක්‌ ඇති වන්නේ නැනෝ පරිමාණයේ අංශුවලින් යුක්‌ත ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී, භාවිතයේ දී හා ඉවතලීමේ දී ය. මේ පිළිබඳව සාකච්ඡා කරනු ලබන විෂයය නැනෝ පරිසර විෂ විද්‍යාව (Nanoecotoxicology) ලෙස හැඳින්වේ.

නැනෝ පරිමාණයේ පරිසර දූෂණය

නැනෝ ප්‍රමාණයේ අංශු වර්ග නිසා ජලය, වාතය හා භූමිය ද දූෂණය වීමේ අවදානමක්‌ ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. එසේ ම මේ නිසා මානව සෞඛ්‍යයට ද යම් යම් බලපෑම් ඇති විය හැකි බව ද අනාවරණය වී ඇත. මෙහි දී අපි මෑත දී අනාවරණය වූ පාරිසරික බලපෑම් කිහිපයක්‌ පිළිබඳ පමණක්‌ සඳහන් කරමු.

ටයිටේනියම් ඩයොක්‌සයිඩ් ලෝකයේ බොහෝ සේ භාවිතයට ගන්නා නැනෝ අංශු වර්ගයකි. මේ අංශු පරිසරයට එක්‌වීමෙන් ජලජ පරිසර පද්ධතිවල නයිට්‍රජන් හා කාබන් චක්‍රයට යම් බලපෑමක්‌ ඇති විය හැකි බව පර්යේෂණාත්මකව පෙන්වා දී ඇත. ඒ ප්‍රභාසංස්‌ලේෂණය සිදුකරන ක්‌ෂුද්‍ර ජීවීන් ගේ වර්ධනයට බලපෑමක්‌ ඇති කිරීමෙනි. Anabaena විශේෂයක්‌ ආශ්‍රිතව කළ මේ අධ්‍යයනයේ දී හෙළි වී ඇත්තේ අධික ටයිටේනියම් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක්‌ පැවැතීම ඒවායේ වර්ධන වේගය හා නයිට්‍රජන් තිරකිරීමේ වේගයට හානිකර බලපෑමක්‌ සිදු කරන බව ය. (මූලාශ්‍රය : Environmental
Science and Technology, DOI:
10.1021/es101658p)

මේ අතර නැනෝ අංශුවලින් ශාකවලට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සිදුකරන ලද මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කාබන් නැනෝ අංශුවලින් ශාකවලට බලපෑම් සිදු විය හැකි බව ය. කාබන් නැනෝ ටියුබ ශාක සෛල මියයැමට හේතුවිය හැකි බව මෙහි දී අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මේ නිසා ශාක පටක මියගිය බවක්‌ නිරීක්‌ෂණය කර නැති වීම සැලකිය යුතු කරුණකි. එසේ ම මේ තත්ත්වය සඳහා නැනෝ කාබන් අංශුවල ප්‍රමාණය හේතුවන බව ද මේ පර්යේෂණයේ දීම අනාවරණය වී ඇති කරුණකි. (මූලාශ්‍රය( American Journal of Botany, DOI: 10.3732/ajb.1000073)

ක්‌ෂුද්‍ර ජීවීන් ගේ වර්ධනයට හා ප්‍රජනනයට පරිසරයට නිකුත් වන ඇතැම් නැනෝ අංශු මගින් බලපෑමක්‌ ඇති කළ හැකි අතර තවත් නැනෝ අංශු මගින් ක්‌ෂුද්‍රජීවීන් විනාශ වීමට පවා හැකියාව ඇත. කොපර් ඔක්‌සයිඩ්, සින්ක්‌ ඔක්‌සයිඩ් හා රිදී නැනෝ අංශු මගින් මෙවැනි බලපෑමක්‌ ඇති විය හැකි ය. මේ අතර ශාක වර්ධනයට හිතකර හා පරිසර දූෂක විනාශ කිරීමට වැදගත් වන ක්‌ෂුද්‍ර ජීවීන් පවා මේ නිසා විනාශ විය හැකි ය. (මූලාශ්‍රය( Journal of
Biological Engineering, DOI:10.1186/1754-
1611-3-9)

අයර්ලන්තයේ පවත්නා තත්ත්වය පදනම් කරගනිමින් සිදුකරන ලද තවත් අධ්‍යයනයකින් පෙන්වා දී ඇති ආකාරයට රිදී හා ටයිටේනියම් ඩයොක්‌සයිඩ් නැනෝ අංශු ජලයට නිකුත් වීම නිසා මධ්‍යස්‌ථ හා ඉහළ බලපෑමක්‌ ඇතිවීමට ඉඩ තිබේ. ඒ නිසා ඉදිරියේ දී මේ පිළිබඳව ද සැලකිල්ලට ගත යුතු වේ. මෙහි දී අනාවරණය වූ වැදගත් කරුණක්‌ වන්නේ වාතයේ ඇති නැනෝ අංශුවලට වඩා ජලයට එAවා එක්‌වීම නිසා සිදුවන හානිය අධික විය හැකි වීම ය. (මූලාශ්‍රය : Human and Ecological Risk Assessment,
DOI: 10.1080/10807039.2010.501270)

නැනෝ තාක්‌ෂණය ඉවතලිය යුතු ද?

නැනෝ අංශුවලින් ඇතිවිය හැකි පරිසර බලපෑම් පිළිබඳව මෙතෙක්‌ අනාවරණය වී ඇති කරුණු අනුව පෙනෙන්නේ නැනෝ පරිමාණ අංශු මගින් පාරිසරික වශයෙන් කිසියම් බලපෑමක්‌ ඇති විය හැකි බව ය. ඒවායේ පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් ගැන අපේ අවබෝධය තවත් පුළුල් විය යුතු ය. මේ වන විට නැනෝ අංශු ඇතුළත් ද්‍රව්‍ය සැලකිය යුතු තරමක්‌ යොදාගන්නා බැවින් - ඇතැම් විට එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පවා - මේ තත්ත්වය ගැන වැඩි අවධානයක්‌ යොමු කිරීම වැදගත් 
ය .

නේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

පැපිරස්‌ පත්‍රයේ කථාව