බිලියන හතේ අභියෝගය

http://www.7billionactions.org Everyone has an opportunity and a responsibility to make a world of 7 billion a better place for all of us. We are collecting stories of individuals making a difference in their communities – and globally. Stories that can inspire other to take action. To date, 134people have shared their stories.


මේ වර්ෂයේ දී ලෝක ජනගහනය බිලියන 7 ක්‌ ඉක්‌මවන බව අපේක්‌ෂා කරනු ලැබේ. ඒ සඳහා ද දිනයක්‌ පුරෝකථනය කර ඇති අතර ඊට අනුව ගතවන ඔක්‌තෝබර් මාසයේ 31 වන දින වන විට ලෝක ජනගහනය බිලියන 7 ඉක්‌මවනු ඇත. මානව කේන්ද්‍රීය දෘෂ්ටියකින් බලන විට එය මානව ඉතිහාසයේ සන්ධිස්‌ථානයක්‌ සේ සැලකිය හැකි ය. මිනිසුන් ලෝකයේ ප්‍රමුඛතම ජීවී විශේෂය වන නිසා නම් මේ සිදුවීම වැදගත් සිදුවීමක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. 

එහෙත් මේ දිනය වැදගත් වන්නේ හුදෙක්‌ ඉහත හේතු නිසා ද?කිසිසේත් නැත. මානව ජනගහනය ඉහළ යැම නිසා ඇති වී තිබෙන බලපෑම් පිළිබඳව පුළුල් ලෙස සැලකුවහොත් මේ දිනය සතුටු වීමට හෝ සව්දිය පිරීමට හැකි දිනයක්‌ ද යන්න ගැටලූවකි. 

ලෝක ජනගහනය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ලෝක ජනගහනය බිලියන 6 ඉක්‌මවූයේ 1999 වර්ෂයේ දී පමණ ය. එතැන් සිට වසර දොළහක්‌ ඇතුළත ලෝක ජනගහනය තවත් බිලියනයකින් ඉහළ ගොස්‌ තිබේ. ජනගහනය බිලියන 5 සිට 6 දක්‌වා වර්ධනය වීම සඳහා ද ගතවූයේ මීට සමාන කාලයකි. පවත්නා තත්ත්වය අනුව 2050 වර්ෂය වන විට ලෝක ජනගහනය බිලියන 9ක්‌ ද 2100 වන විට බිලියන 10.1ක්‌ ද පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ජනගහන වර්ධන වේගය අඩුවෙමින් පවත්නා නමුත් ලෝක ජනගහනය වර්ධනය වීම සැලකිය යුතු තරම් බව මේ අනුව පෙනේ.

මේ ආකාරයෙන් සිදුවන අධික ජනගහන වර්ධනයත් සමඟ එන අභියෝග රැසකි. ඉන් එකක්‌ වන්නේ මේ ජනගහනයට අවශ්‍ය ආහාර පාන හා වෙනත් අවශ්‍යතා සපයන්නේ කෙසේ ද යන්න ය. ලෝකයට අවශ්‍ය තරම් ආහාර අද ඇතත් ඒවා බෙදීයැමේ විෂමතාවක්‌ තිබේ. ඇතැම් පිරිස්‌ සුඛෝපභෝගී ලෙස දිවිගෙවන අතර තවත් පිරිසක්‌ ජීවත්වන්නේ සම්පත් අඩු වටපිටාවකය. අධිපරිභෝජනය වර්තමාන ලෝකයේ සමාජ ආර්ථික රටාවේ වැදගත් අංගයකි. 

සම්පත් සීමිත වීමත් අභියෝගයකි

ලෝකයේ ස්‌වාභාවික සම්පත් ප්‍රමාණය මෙන්ම පුනර්ජනනය වන සම්පත් පුනර්ජනනය වන වේගය සීමා සහිත ය. සම්පත් අතින් සීමිත ලෝකයේ දැකිය හැකි අධි පරිභෝජනය නිසා ලෝකයට දරාගත හැකි සීමාවට වඩා අධික සම්පත් ප්‍රමාණයක්‌ මිනිසුන් විසින් පරිභෝජනය කරයි. මිහිතලයේ සම්පත් හායනයට ලක්‌ නො කරමින් පරිසරයෙන් අපට ලබා ගත හැකි ද්‍රව්‍ය ප්‍රමාණය සඳහා සීමාවක්‌ තිබේ. පරිසරයට බලපෑමක්‌ සිදු නොකරමින් යම් වර්ෂයක්‌ තුළ අපට ස්‌වාභාවික සම්පත් ලබාගත හැකි සීමාව ඉක්‌මවන දිනයක්‌ නම් කර ඇත. මේ දිනය පාරිසරික ණය දිනය (Earth Debt Day) හෙවත් මිහිතලයේ සීමාව ඉක්‌මවන දිනය (Earth Overshoot Day) ලෙස නම් කර තිබේ. මේ වර්ෂයේ දී ඒ දිනය වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ 27 වන දිනය. 

බ්‍රිතාන්‍යයේ නව ආර්ථික පදනම (New Economics Foundation) නම් ආයතනය මගින් ඉදිරිපත් කරන ලද සංකල්පයක්‌ අනුව යමින් මේ දිනය නියම කිරීම සිදු කෙරේ. මේ දිනයෙන් පසු අප ලබාගන්නා ද්‍රව්‍ය නිසා සිදුවන්නේ අදාළ ස්‌වාභාවික සම්පත් හායනයට ලක්‌වීම හෝ ක්‌ෂය වීම ය. මෙහි ඇත්තේ කිසියම් ගණිතමය හෝ ආර්ථිකමය හෝ සංකේතාත්මක අගයයක්‌ පමණක්‌ නො වේ. ඉන් පැහැදිලි වන්නේ අප විසින් මිහිතලයට සිදුකරන්නේ කුමන ආකාරයේ බලපෑමක්‌ ද යන්න ය. එහෙත් අවාසනාවකට මෙන් වර්තමාන ලෝකයේ ජනතාව අතර මේ දිනයට හෝ ඉන් මතුකරන සංකල්පයට නිසි අගයයක්‌ ලැබේ ද යන්න නම් ගැටලූවකි. 

බිලියන හතක්‌ යනු අවස්‌ථා බිලියන හතක්‌

ලෝක ජනගහනය බිලියන හතක්‌ වීම හා සමගාමීව ක්‍රියාකාරකම් බිලියන හතක්‌ (7 Billion Actions) යනුවෙන් වූ නව ජගත් මට්‌ටමේ වැඩසටහනක්‌ එක්‌සත් ජාතීන් විසින් දියත් කර තිබේ. එහි අරමුණ ලෝක ජනගහනය වර්ධනය වීමත් සමඟ ඇති වන අභියෝගය හා ඉන් ඇති වන අවස්‌ථා පිළිබඳව අවධානයක්‌ යොමු කිරීම ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් තිරසර සංවර්ධනයක්‌ අත්පත් කර ගනිමින් වර්ධනය වන ජනගහනය සඳහා ලෝකයේ ඇති සම්පත් සාධාරණ ආකාරයෙන් බෙදා ගැනීමේ අභියෝගය මෙහි දී අවධානයට ලක්‌වේ. 

එක්‌සත් ජාතීන් ගේ ජනගහන අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන මේ වැඩසටහන මගින් ජනගහනයට අදාළ විවිධ අංශවල ජගත් මට්‌ටමේ සහයෝගිතාවක්‌ ඇති කිරීම ප්‍රවර්ධනය කරනු ලැබේ. මෙහි දී සෞඛ්‍යය, පාරිසරික තිරසරභාවය, දරිද්‍රතාව හා සම්පත් විෂම ලෙස බෙදීයැම, නාගරීකරණය හා වෙනත් අදාළ අංශ පිළිබඳව අවධානය යොමු කර ඇත. වර්තමාන ලෝකයේ නැඟී එමින් පවත්නා පාරිසරික සංකල්පයක්‌ වන හරිත ආර්ථිකය මෙහි දී වැඩි අවධානයකට ලක්‌ව තිබීම ද ඉතා වැදගත් කරුණකි. එසේම මේ වැඩසටහන තුළ විවිධ ප්‍රචාරක හා අධ්‍යාපනික වැඩසටහන් රැසක්‌ ද දියත් කර තිබේ. (ක්‍රියාකාරකම් බිලියන හතක්‌ වෙබ් අඩවිය (www.7billionactions.org)

එන්ඩොසල්ෆාන් සඳහා ඉන්දියාවේත් සීමා

එන්ඩොසල්ෆාන් නම් රසායනික ද්‍රව්‍යය දිගුකල් පවත්නා රසායනික ද්‍රව්‍ය (POPs) පිළිබඳ සම්මුතිය (ස්‌ටොක්‌හෝම් සම්මුතිය) යටතේ 2012 වර්ෂයේ මැද භාගයේ සිට භාවිතයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති රසායනික ද්‍රව්‍යයකි. (යම් යම් අවශ්‍යතා සඳහා තවත් වසර කිහිපයක්‌ යන තුරු මේ රසායන ද්‍රව්‍යය භාවිතයට ගැනීමට අවස්‌ථාව ලැබී ඇත) ඒ එහි ඇති බරපතළ පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් නිසා ය. ඒ වන විටත් ලෝකයේ රටවල් රැසක්‌ ම මේ රසායන ද්‍රව්‍යය භාවිතය සීමා කර තිබේ.

කෙසේ වෙතත් ලෝකයේ ප්‍රධානතම එන්ඩොසල්ෆාන් නිෂ්පාදකයා වන ඉන්දියාව මීට තරමක්‌ එරෙහි වූ රටකි. එරට තුළ ඇතැම් වගා සඳහා මේ රසායනික ද්‍රව්‍යය භාවිත කරනු ලබන අතර විශාල ලෙසින් අපනයනය කිරීම ද සිදු කරනු ලැබේ. ඉන්දියාවේ මේ ස්‌ථාවරය සඳහා එරට ව්‍යාපාරික ආයතනවල බලපෑම් හේතු වූ බවක්‌ පෙනේ. එහෙත් විවිධ ආයතන හා සංවිධාන මේ පිළිබඳව දිගින් දිගට ම විරෝධය දැක්‌වීය. ඉන්දියාවේ ප්‍රදේශ රැසකින් මේ රසායන ද්‍රව්‍යයේ අහිතකර සෞඛ්‍ය බලපෑම් වාර්තා වී තිබේ. විශේෂයෙන් කේරළ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ කසරගොද් දිස්‌ත්‍රික්‌කය මෙවැනි සිදුවීම් සඳහා බෙහෙවින් ප්‍රකට වේ. ඒ ගුවන් මගින් එන්ඩොසල්ෆාන් ඉසීම නිසා ය. කේරළ ප්‍රාන්තය එන්ඩොසල්ෆාන් භාවිතය තහනම් කළේ කලකට ඉහත දී ය.

මේ පිළිබඳව එරට ක්‍රියාකාරී කණ්‌ඩායම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවේ අදාළ කරුණ පිළිබඳව පැවැති මතභේදාත්මක තත්ත්වය නිසා ය. ඒ අනුව පසුගිය මැයි මාසයේ දී එරට අධිකරණය තීරණය කළේ ඉන්දියාව තුළ එන්ඩොසල්ෆාන් නිෂ්පාදනය, බෙදාහැරීම හා භාවිතය තහනම් කළ යුතු බව ය. එහෙත් මේ වර්ෂයේ මැයි මාසයේ 13 වැනි දිනට පෙර ලැබී ඇති ඇණවුම් සඳහා අපනයනය කිරීමට පසුගියදා අවසර ලබා දී තිබේ. ඒ අදාළ තත්ත්වය පිළිබඳව විශේෂඥ කමිටුවක්‌ මගින් ලබා දුන් වාර්තාවක්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව ය. එහෙත් මෙහි ඇති ආචාරධර්මීය තත්ත්වය ඇතැම් කණ්‌ඩායම් මගින් ප්‍රශ්න කර තිබේ.

උෂ්ණත්වයේ විචල්‍යතාවලට මුහුණ දීමට හැකි වීමත් වැදගත්

උෂ්ණත්වය දරාගත හැකි සතුන් කවුරුන් ද යන්න හඳුනාගත හැකි ක්‍රමවේදයක්‌ පර්යේෂණයක්‌ මගින් අනාවරණය කර ගෙන ඇත. මේ අනුව මෙතෙක්‌ විශ්වාස කළ ආකාරයට එය තීරණය වන්නේ හුදෙක්‌ වඩා ප්‍රශස්‌ත උෂ්ණත්වයක්‌ පවත්නා ප්‍රදේශයක්‌ කරා සංක්‍රමණය වීමට ඇති හැකියාව මත පමණක්‌ නො වේ. ඊට බලපාන වැදගත් සාධකයක්‌ වන්නේ උෂ්ණත්වයේ ඇති වන විචල්‍යතා දරා ගැනීමට මේ සතුන් කෙතරම් සමත් වේ ද යන්න මත ය. 

මේ අධ්‍යයනයේ බටහිර ඇමෙරිකාවේ දැකිය හැකි උභය ජීවී විශේෂ 15ක්‌ සඳහා ඉදිරිපත්ව ඇති පෙර කී ආකාරයේ දේශගුණ මංපෙත් හා දේශගුණ විචල්‍යතා පරීක්‌ෂා කර ඇත. ඊට වඩාත් පිළිගැනීමට ලක්‌ව ඇති දේශගුණ ආකෘති යොදාගෙන තිබේ. එහි දී හෙළි ව ඇත්තේ ඒ උභය ජීවී විශේෂවලින් අඩක්‌ පමණ වඳ වී යැමට හෝ වඳවීමේ තර්ජනයට ලක්‌වීමට ඉඩ ඇති බව ය. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ඔවුන් වඩා යහපත් තත්ත්ව ඇති ප්‍රදේශවලට සංක්‍රමණය වන අතරතුර ඇති වන උෂ්ණත්ව විචල්‍යතාවලට මුහුණ දීමට දක්‌වන හැකියාව ය. දේaශගුණ විචල්‍යතා මෙවැනි ජීවීන් ගේ ඉරණම තීරණය කිරීම සඳහා තීරණාත්මකව බලපාන බව මේ අනුව පෙනේ. (මූලාශ්‍රය( Ecology Letters, DOI: 10.1111/j.1461-0248.2011.01681.x)

මෝරුන් දැඩි තර්ජනයක

සාගරයේ ජීවත්වන මෝර විශේෂ තර්ජනයට ලක්‌ව ඇති බව ඔස්‌ටේ්‍රලියාවේ මහා බාධක පර ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 

මෙතෙක්‌ අපහසු කරුණක්‌ව තිබූ මෝර ගහනවල ප්‍රමාණය ගණනය කිරීම සඳහා යොදාගත් ක්‍රමවේද පිළිබඳ ගැටලූ ඇති වී තිබිණි. ඊට හේතුවක්‌ වූයේ මත්ස්‍ය දැල්වලට අහම්බෙන් හසුවන මසුන් හා නීති විරෝධී ලෙස දඩයම් කරනු ලබන මසුන් වාර්තාගත නොවීම ය. මේ අධ්‍යයනයේ දී අදාළ ප්‍රදේශයේ ජීවත්වන මෝර විශේෂ දෙකක ස්‌වාභාවික හා සමස්‌ත මරණ අනුපාතිකය වක්‍ර ක්‍රම ගණනාවක්‌ යොදාගනිමින් ගණනය කර තිබේ. ඒ මත පදනම්ව මෝරුන්ගේ ගහනවල වර්ධන වේගය ගණනය කර තිබේ. ඉන් හෙළි වී ඇත්තේ මසුන් ඇල්ලීම නිසා මෝර විශේෂ දෙකේ ම ගහන අඩු වෙමින් පවත්නා බව ය. 

මේ ආකාරයට ලෝකය පුරා සාගරවල වෙසෙන විවිධ මෝර විශේෂ දැඩි තර්ජනයකට ලක්‌ව සිටිය හැකි බව මෙහි දී පෙන්වා දී තිබේ. ඒ පිළිබඳව සිදුකරන අධ්‍යයන මෝරුන් සංරක්‌ෂණය කිරීම සඳහා වැදගත් වනු ඇත. (මූලාශ්‍රය( PLoS ONE, DOI: 10.1371/journal.pone.0025028)

න්‍යෂ්ටික බලයේ පසුබෑම තාවකාලිකයි?

ජපානයේ ඇති වූ න්‍යෂ්ටික බලාගාර අනතුරෙන් පසුව එරට මෙන් ම ලෝකයේ තවත් රටවල් රැසක න්‍යෂ්ටික බලයේ යම් කිසි පසුබෑමක්‌ ඇති විය. ජර්මනිය න්‍යෂ්ටික බලයෙන් ඈත් වීමට තීරණය කළ අතර ඉතාලිය හා ස්‌විස්‌ටර්ලන්තය ද තවත් දියුණු වන රටවල් රැසක්‌ ද තම න්‍යෂ්ටික අපේක්‌ෂා අකුලා ගත් බවක්‌ දැකිය හැකි විය. එහෙත් මේ තත්ත්වය තාවකාලික වූවක්‌ බවක්‌ පෙනේ. නිදසුනක්‌ ලෙස ජපානයේ නව අගමැතිවරයා න්‍යෂ්ටික බලය තවත් කලක්‌ යොදාගන්නා බවක්‌ ඉඟි කර තිබේ. මේ පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යැමට කමිටුවක්‌ ද පත් කර ඇත.

1979 දී ඇමෙරිකාවේ ත්‍රී මයිල් දූපතේ දී හා 1986 දී එවකට පැවති සෝවියට්‌ දේශයේ චර්නොබිල් බලාගාරයේ ඇති වූ අනතුරුවලින් පසුව ද මෙවැනි පසුබෑම් ඇති වූ නමුත් ඒවා තාවකාලික ඒවා විය. ෆුකුෂිමා අනතුරත් එවැන්නක්‌ වන බවක්‌ දැන් දැන් දැකිය හැකි ය.

ධනේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

පැපිරස්‌ පත්‍රයේ කථාව

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2