ගිනි පෑගීම පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක්‌

මහාචාර්ය කාලෝ ෆොන්සේකා විද්‍යාත්මක ක්‍රමය ඉහළින් ම ගුරු කොටගත් විද්වතකු ලෙස හා හේතුවාදියකු ලෙස ප්‍රකට ය. ඔහු, කෙනකු නො පිළිස්‌සී ගිනි පාගන්නේ දේව හාස්‌කමකින් හෝ දේව භක්‌තිය නිසා හෝ නො වේ ය යන්න විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කළ පරීක්‌ෂණයකින් තහවුරු කළේ 1971 වසරේ ජූනි මස දී Ceylon Medical Journalys හි පළ කළ විද්‍යාත්මක පත්‍රිකාවකිනි. එම පරීක්‌ෂණ ප්‍රතිඵල එදා මෙදාතුර අපමණ සංවාදයන්ට බඳුන් වී ඇතත් අදාළ ජර්නලයෙහි පළ වූ පත්‍රිකාව සෘජුව ම පාදක කරගෙන කතුවරයා විසින් ම ලියන ලද ලිපියක්‌ කිසිදු සිංහල පුවත්පතක මේ දක්‌වා පළ වී නොමැති බව විදුසරට දැනගන්නට ලැබිණි. එම ආරංචිය නිවැරැදි නම් ඔබ මේ කියවන්නට යන්නේ මහාචාර්යවරයා විසින් ම සිංහල පාඨකයාට උචිත වන අයුරින් පරිවර්තනය කරන ලදුව පළමු වරට සිංහල පුවත්පතක පළ වන අදාළ වාර්තාවයි. ඉකුත් දිනක ආචාර්ය ජානක වංශපුර, මහාචාර්යවරයා ගේ මෙකී පරීක්‌ෂණය විවේචනයට ලක්‌ කරමින් විදුසරට ලියා තිබූ ලිපිය කියවීමෙන් පසු ඒ පිළිබඳව මහාචාර්යවරයා දැනුවත් කොට මේ ලිපිය විදුසරට යොමු කරවන ලද්දේ ප්‍රවීණ ජීවවිද්‍යා දේශක හා ලේඛක අසංග අබේසුන්දර මහතා විසිනි.

ප්‍රවේශය

ඔබ ගේ නිරාවරණ පාදයක්‌ අතිශය ගිනියම් වූ අඟුරක්‌ මත තැබීම හේතු කොටගෙන යටි පතුලේ පිළිස්‌සීමක්‌ ඇති වුව හොත් ඔබ කිසි සේත් පුදුම නො වනු ඇත. ගින්න දවන සුලු බව ඔබ දන්නා හෙයිනි. යම් අවස්‌ථාවක දී ඔබ ගේ නිරාවරණ පාදයක්‌ අතිශය ගිනියම් අඟුරක්‌ මත තබා යටි පතුලේ පිළිස්‌සීමක්‌ ඇති නො වුව හොත් විද්‍යාව පිළිබඳව අල්පමාත්‍ර දැනුමක්‌ නැතත් ඔබ සාකල්‍යයෙන් ම මවිත වනු ඇත. විද්‍යාවේ පදනම වන හේතුඵල මූලධර්මයට අනුව, එක්‌ අවස්‌ථාවක දී කිසියම් නිශ්චිත පූර්ව තත්ත්වයන් හේතුකොටගෙන ඇති වන ප්‍රතිඵලය, ඒ භෞතික පූර්ව තත්ත්වයන් පවතින කවර අවස්‌ථාවක දී වුවත් ඇති විය යුතු බව ප්‍රතිභා ඥානයෙන් ඔබ දන්නා බැවිනි.

ගිනි පෑගීමේ විස්‌මතුරු දේ වන්නේ, අතිශය ගිනියම් වූ අඟුරු මත ඇවිද යන බොහෝ දෙනකු ගේ යටි පතුල්වල කිසිදු පිළිස්‌සුම් තුවාලයක්‌ ඇති නො වීම ය. එහෙයින් ගිනි පෑගීම පිළිබඳව පැහැදිලි ව තේරුම් කර දිය යුත්තේ අතිශය ගිනියම් වූ අඟුරු මත නිරාවරණය පාදවලින් ගමන් කරන ගිනි පාගන්නන් ගේ යටි පතුල් නො පිළිස්‌සෙන්නේ කුමක්‌ නිසා ද යන්නයි.

ගිනි පෑගීම ගැන බොහෝ දෙනකු මවිත වන්නේ කිසිදු වේදනාවකින් තොර ව බැතිමතුන් ගිනි මැළය තරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය. පිළිස්‌සුම් ඇති වුව හොත් ක්‌ෂණික වේදනාව අනිවාර්යයෙන් ම දැනෙන බව බොහෝ දෙනකු විශ්වාස කරන නිසා කිසිදු වේදනාවක්‌ ක්‌ෂණිකව අත් නො විඳ, පිළිස්‌සුම් ඇති විය හැකි ය කියා සිතීමට පවා ඔවුනට නොහැකි ය.

එහෙත් ප්‍රබල චිත්ත වේග පවතින අවස්‌ථාවල දී වේදනාව නො දැනෙන්නට හැකි බව වෛද්‍ය විද්‍යාවේ සම්මත ප්‍රත්‍යක්‌ෂයකි. එබැවින් මෙය සාමාන්‍ය ප්‍රායෝගික බුද්ධියට කෙතරම් පටහැනි වුවත් ගිනි පාගන උළෙලක දී, බැතිමතුන් ගේ යටි පතුල්වල ඇති වන පිළිස්‌සුම් තුවාල ඒ පිළිවෙත ආශ්‍රිත ජනිත වූ හැඟීම් පවතින තුරු වේදනා රහිත විය හැකි ය. මෙනයින් බලන කල, ගිනි පෑගීම පිළිබඳව විසඳා ලිය යුතු ගැටලුව වන්නේ සමහරුන්ට කිසිදු වේදනාවක්‌ නො දැනී සිය නිරාවරණ පාදවලින් ගිනි මැළයක්‌ තරණය කළ හැක්‌කේ කෙසේ ද යන්න නො වේ. තීරණාත්මක ගැටලුව වන්නේ වාස්‌තවික පිළිස්‌සුම් තුවාල ඇති නො වී ඒ එසේ කළ හැක්‌කේ ද යන්නයි.

දේව හාස්‌කමක්‌

ගිනි පාගන බැතිමතුන් පවසන්නේ ගිනි පෑගීමේ දී ඔවුන් නො පිළිස්‌සෙන්නේ ඔවුන් තුළ තිබෙන දේව භක්‌තිය නිසා බවයි. ඔවුන් ගේ විශ්වාසය වන්නේ, නො පිළිස්‌සීම දේව ආනුභාවයෙන් සිදු වන හාස්‌කමක්‌ බවයි. එයින් අධ්‍යාහෘත වන්නේ ඒ නො පිළිස්‌සීම සෙබාදහම ඉක්‌මවා යන ප්‍රපඤ්චයක්‌ යන්නයි. එහෙත් ගිනි පාගන බැතිමතුන් අතර පිළිස්‌සුම් ලබන්නෝ ද වෙති. එවැනි පිළිස්‌සුම් ලබන බැතිමතුන් සැලකෙන්නේ ගිනි පෑගීමේ දී අදාළ දෙවියන් සමග සම්පූර්ණයෙන් ඒකාබද්ධ නො වූවන් ලෙසයි.

වර්ෂ 1966 දී කතරගම ගිනි පෑගීමේ උළෙලක්‌ නරඹා කරුණු සලකා බැලු පෝල් වර්ස්‌ නැමැත්තා ගේ අදහස වුයේ මෙයයි ( එදා මෙන් අදත් මනෝ විද්‍යාඥයන්ට මෙන් ම පරා මනෝවිද්‍යාඥයන්ටත් ගිනි පෑගීමේ ප්‍රපඤ්චය අර්ථදැක්‌විය නොහැකි ය. නො පිළිස්‌සී ගිනි පෑගීමේ අභිරහස කිසි කලෙක නො විසඳෙන එකක්‌ සේ පෙනේ."

සමහරුන්ට නො පිළිස්‌සී ගිනි මැළයක්‌ තරණය කළ හැක්‌කේ කෙලෙස ද යන්න කියා මනෝ විද්‍යාඥයන්ට හා පරා මනෝවිද්‍යාඥයන්ට පහදා දීමට නොහැකි නම් කායික විද්‍යාඥයකුට හෙවත් භෞතිකවේදියකුට ඒ ප්‍රපඤ්චය විග්‍රහ කළ හැක්‌කේ කෙසේ ද කියා අපි විමසා බලමු.

උත්තේජක-ප්‍රතිචාර සංකල්පය

කායික විද්‍යාඥයා තමා ගවේෂණය කරන ඕනෑ ම ප්‍රපඤ්චයක්‌ විග්‍රහ කරන්නේ එය "උත්තේජක-ප්‍රතිචාර" සංසිද්ධියක්‌ ලෙස සලකා ය. උත්තේජනයක්‌ වූ කලී යම් පටකයක්‌ පිහිටා ඇති පරිසරයේ ඇති වන විපර්යාසයකි. ඒ විපර්යාසය හේතු කොටගෙන පටකයේ කිසියම් වෙනස්‌ වීමක්‌ හෝ ප්‍රතිචාරයක්‌ ඇති වේ. මේ සංකල්පය උපයෝගී කරගෙන ගිනි පෑගීමේ ප්‍රපඤ්චය විග්‍රහ කළ හැකි ය. මෙහි භෞතික උත්තේජකය වන්නේ ගිනි මැළය ජනිත කරන තාපයයි. මේ උතේජකය යොදනු ලබන පටකය වන්නේ ගිනි පාගන තැනැත්තා ගේ පාදයයි. වෙසෙසින් යටි පතුලයි. මේ විග්‍රහයට අනුව මෙහි දී පැනනඟින ප්‍රශ්නය මෙයයි. තාපය නමැති උත්තේජකයට යටි පතුල්වල ප්‍රතිචාරය කුමක්‌ ද? සැම උත්තේජක-ප්‍රතිචාර ප්‍රපඤ්චයක දී ම ප්‍රතිචාර සාධක දෙකක්‌ මත රඳා පවතී. එකක්‌, උත්තේජකයේ භෞතික ලක්‌ෂණයි. අනෙක යටි පතුල්වල භෞතික ලක්‌ෂණයි. වෙනත් වචනවලින් කියතොත් යටි පතුල්වල ප්‍රතිචාරය නිර්ණය වන්නේ, යටි පතුල්වල භෞතික තත්ත්වය සහ ඒ යටි පතුල්වලට කොපමණ තාප ප්‍රමාණයක්‌ කොපමණ කාලයක්‌ තුළ යොදනු ලබනවා ද යන්න මතයි.

භෞතවේදී විග්‍රහය

පළමු කොට උත්තේජකය හෙවන් ගිනි මැළයේ තාපය සලකා බලමු. ගිනි මැළයෙන් ජනිත වන තාප ප්‍රමාණය ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ ගිනිමැළයේ දිග, පළල, ගැඹුර සහ එය තැනීමට යොදා ගෙන තිබෙන ද්‍රව්‍යයේ ස්‌වභාවය මතයි. ගිනි මැළයේ මතුපිට උෂ්ණත්වය වැඩි වූ තරමට ගිනි පෑගීමේ දී ගිනි මැළයෙන් පාදවලට සම්ප්‍රේෂණය වන තාප ප්‍රමාණය වැඩි වන්නේ ය.

ගිනි පෑගීමේ දී අදාළ වන යටි පතුල්වල ලක්‌ෂණ කිහිපයකි. ඒවා අතර යටි පතුල් ගනකම් ද නැත හොත් තුනී ද? ගොරෝසු ද? නැත හොත් සිනිඳු ද? තෙත සහිත ද? නැත හොත් වියළි ද? ශීතල ද? නැත හොත් උණුසුම් ද? පිරිසිදු ද? නැත හොත් කිළිටිද? යන මේවා වැදගත් වේ. මේ සම්බන්ධව කිසිදු අත්දැකීමකින් තොර ව වුවත් අපට එක්‌ දෙයක්‌ අනුමාන කළ හැකි ය. එනම්, යම් කිසි ගිනි මැළයකට කිසියම් කාලයක්‌ තුළ යොමු කරනු ලබන ගනකම්, ගොරෝසු, තෙත, ශීත, කිළිටි යටි පතුල්වල ඇති වන ප්‍රතිචාරය එම කොන්දේසි යටතේ ම යොමු කරනු ලබන තුනී, සිනිඳු, වියළි, උණුසුම්, පිරිසිදු යටි පතුල්වල ඇති වන ප්‍රතිචාරයට වඩා වෙනස්‌ විය යුතු බවයි.

ගිනි පෑගීමේ දී යටි පතුල් ගිනියම් වූ අඟුරුවලට යොමු කළ විට ඇති වන ප්‍රතික්‍රියාව හෙවත් ප්‍රතිචාරය අවබෝධ කර ගැනීම සඳහා සම සහ සම තුළින් තාපය සම්ප්‍රේෂණය වීම පිළිබඳ භෞතික විද්‍යා මූලධර්මය සලකා බැලිය යුතු ය. සමේ උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක්‌ ඇති වස්‌තුවක්‌ මත සම ස්‌පර්ශ වූ විට ඒ වස්‌තුවෙන් තාපය සමට සම්ප්‍රේෂණය වේ. එසේ සම්ප්‍රේෂණය වන තාපය ප්‍රමාණය රඳා පවතින්නේ (1) ස්‌පර්ශය පවතින කාලය (2) වස්‌තුවේ උෂ්ණත්වය සහ සමේ මතුපිට උෂ්ණත්වයේ අන්තරය (3) ස්‌පර්ශය ඇති වන වර්ගඵලය (4) සමේ තාප අවශෝෂණය කර ගැනීමේ හැකියාව හෙවත් තාප ධාරිතාව සහ (5) සමට යටින් තිබෙන පටකවල තාපය සම්ප්‍රේෂණය කිරීමට තිබෙන හැකියාව හෙවත් තාප සන්නායකතාව, යන සාධක මත ය.

වර්ෂ 1947 දී හෙන්රිකස්‌ සහ මොරිට්‌ස්‌ නමැති විද්‍යාඥයෝ සමට සහ සම තුළින් තාපය සම්ප්‍රේෂණය වීමට තුඩු දෙන සාධක මෙන් ම එමඟින් සමේ අපිචර්මයේ හෙවත් සමේ පිට සිවියේ ඇති වන උෂ්ණත්ව මට්‌ටම පිළිබඳ ගණිතමය විග්‍රහයක්‌ පළ කළෝ ය. සමට වඩා උණුසුම් වස්‌තුවක්‌ සහ එය සමග ස්‌පර්ශ වන සම අතර අවකාශයට වෙනත් කිසියම් ද්‍රව්‍යයක්‌ ඇතුළු වුව හොත් සම්ප්‍රේෂණය වන තාප ප්‍රමාණය අඩු වන බව අමුතුවෙන් කිව යුතු නැත. සාමාන්‍යයෙන් සමේ මතුපිට උෂ්ණත්වය, සමට යටින් තිබෙන පටකවල උෂ්ණත්වයට වඩා අඩු ය. සමේ මතුපිට සිට සමට යටින් තිබෙන පටකවලට තාපය ගලා යන්නේ සම මතුපිට උෂ්ණත්වය සමට යටින් තිබෙන පටකවල උෂ්ණත්වයට වඩා වැඩි වුව හොත් පමණි. එසේ වූ විට තාපය සමට යට තිබෙන පටකවලට ගලා ගොස්‌ ඒ පටකවල උෂ්ණත්වය වැඩි කරනු ඇත. සමට යටින් තිබෙන පටකවල උෂ්ණත්වය එක්‌තරා තීරණාත්මක උෂ්ණත්වයකට පත් වීමට, අවශ්‍ය වන තරමට තාපය සම්ප්‍රේෂණය වන ශීඝ්‍රතාව ප්‍රමාණවත් නම් සමේ පිළිස්‌සුමක්‌ ඇති වනු ඇත.

සම්ප්‍රේෂණය වන තාප ප්‍රමාණය වැඩි වන තරමට, එනම් (උත්තේජකය) ප්‍රබල වන තරමට, පිළිස්‌සුමක්‌ (ප්‍රතිචාරය) ඇති කිරීමට ගත වන ස්‌පර්ශ කාලය කෙටි වන බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නැත. එය ඉතා සරල සංකල්පයක්‌ වන බැවිනි. කායික විද්‍යා පාරිභාෂික වචනවලින් කිව හොත් කිසියම් උත්තේජකයක ප්‍රබලතාව වැඩි වන තරමට යම් කිසි නිශ්චිත ප්‍රතිචාරයක්‌ ඇති වීමට ගත වන කාලයට කෙටි වනු ඇත. එහෙත් බැලු බැල්මට ඉඳුරා ම පැහැදිලි නො වන අදාළ කාරණාවක්‌ අවධාරණය කළ යුතු ය. එනම්, උත්තේජකය කෙතරම් ප්‍රබල වුවත් එය පටකයට යොදනු ලබන කාලය එක්‌තරා තීරණාත්මක අවම කාලයකට අඩු වුව හොත් අපේක්‌ෂිත ප්‍රතිචාරය ඇති නො වේ.

පියවර තුන

ගිනි පෑගීමේ ප්‍රපඤ්චය විද්‍යාත්මක චින්තන ක්‍රම උපයෝගී කරගෙන විමර්ශනය කළේ කෙසේ ද යන්න පැහැදිලි කළ යුතු ය. සමහරුන්ට නො පිළිස්‌සී ගිනි පෑගිය හැක්‌කේ කෙසේ ද කියා ස්‌වාභාවිකව නවීන විද්‍යාවේ අනුසාරයෙන් අවබෝධ කර ගත හැකි ය යන නිගමනයට මම එළඹුණෙමි. එසේ එළඹුණේ කුමන පියවර අනුගමනය කිරීමෙන් ද කියා විස්‌තර කිරීම මෙහි ලා ප්‍රයෝජනවත් වනු ඇත.

විද්‍යාත්මක චින්තන ක්‍රමය උපයෝගී කර ගෙන ඕනෑ ම ප්‍රපඤ්චයක්‌ විමර්ශනයට භාජන කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන අදියර 3කි.

පළමු අදියර ( අදාළ ප්‍රපඤ්චය පිළිබඳ වැදගත් ඉන්ද්‍රියගෝචර ප්‍රත්‍යක්‌ෂ නිරීක්‌ෂණය කිරීමයි. (කිනම් ඉන්ද්‍රියගෝචර ප්‍රත්‍යක්‌ෂ වැදගත් වන්නේ ද යන්න තීරණය වන්නේ විමර්ශනය පවත්වනු ලබන සමයේ පවතින සම්මත විද්‍යා ඥානයට සාපේක්‌ෂවයි)

දෙවැනි අදියර ( නිරීක්‌ෂණය කරන ලද ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‌ෂය පහදා දිය හැකි උපකල්පනයක්‌ නිර්මාණය කිරීමයි.

තුන් වැනි අදියර ( අදාළ උපකල්පනය පදනම් කොට ගෙන ප්‍රකාශ කළ හැකි අනාවැකි නිවැරැදි ද කියා පරික්‌ෂා කර බැලීමයි.

උද්ගාමී ස්‌වාභාවික විද්‍යාවේ පළමුවැනි අදියර, අදාළ නිශ්චිත අවස්‌ථා වෙන වෙන ම නිරීක්‌ෂණය කිරීමයි. එබැවින් පළමුවෙන් කළ යුතු ව තිබුණේ සැබෑ ගිනි පෑගීම් උත්සව නිරීක්‌ෂණය කිරීමයි.

කතරගම

"කතරගම ලංකාවේ අති ශුද්ධ භූමිය" නමැති සිය කෘතියේ පෝල් වර්ස්‌ තමා කතරගම දී නැරඹූ ගිනි පෑගීමේ උළෙලක්‌ පිළිබඳව කර තිබෙන විස්‌තරය මෙසේ ය. "වියළි කොටන් සහ අතු ගෙනැවිත් ගොඩ ගසා මැළය සකස්‌ කරනු ලැබේ. මැළය සකස්‌ කරනු ලැබුවායින් අනතුරුව ප්‍රධාන කපුරාල විසින් මැළයට ගිනි අවුළනු ලැබේ. ගිනි මැළය ක්‍රමයෙන් ඇවිළී සකස්‌ වේ. එසේ වීමට යටත් පිරිසෙයින් පැය දෙකක්‌ ගත වේ. අවසානයේ දී ගිනියම් අඟුරු සහ දැවෙන ලී කැබැලි කිහිපයක්‌ ඉතිරි වේ. ඉක්‌බිති ගිනියම් අඟුරු, ගිනි මැළය පුරා පොලු මගින් සමතලා කරනු ලැබේ. ගිනි මැළය දිගින් මීටර තුනක්‌ හතරක්‌ වන අතර පළලින් මීටර් දෙකක්‌ පමණ වේ. මැළයේ උණුසුම් පැහැය කෙතරම් ප්‍රබල ද කියතොත් යමකුට මැළය අබියස සිටිය හැක්‌කේ කෙටි කාලයක්‌ පමණි. ගිනි මැළය සකස්‌ කරනු ලබන කාලය තුළ දී ගිනි පෑගීමට අපේක්‌ෂා කරන පිරිමි සහ ගැහැනු එයට සූදානම් වෙති. සූදානම් වන්නේ මැණික්‌ ගඟේ ස්‌නානය කිරීමෙන් අනතුරුව මහා දේවාලයට පැමිණ දෙවියන් යෑදීමෙන් පමණි. මා ගිනි පෑගීම් උළෙල නිරීක්‌ෂණය කළ අවස්‌ථාවේ දී මිනිසුන් 20 දෙනෙක්‌ පමණ ගිනි මැළය තරණය කළෝ ය. ඔවුන් අතරින් කිහිප දෙනකුන් ගේ යටි පතුල්වල පිළිස්‌සීම් නිසා හටගත් දියපට්‌ට හටගෙන තිබුණේ ය. මේ 20 දෙනා ගිනි මැළය තරණය කළේ එකිනෙකාට බෙහෙවින් වෙනස්‌ වූ ආකාරවලට ය. ඔවුන් ගෙන් වැඩි දෙනා ගිනි මැළය දිගේ දුව ගියෝ ය. නැත හොත් උපරිම වේගයකින් පැන පැන ගියෝ ය. එබැවින් ඔවුන් ගේ එක යටි පතුලක්‌ ගිනි අඟුරු සමග ස්‌පර්ශ වූයේ උපරිම වශයෙන් දෙවරක්‌ පමණි. අනෙක්‌ ඇත්තෝ තරමක්‌ සෙමින් ගිනි මැළය තරණය කළෝ ය."

ගිනි පෑගීමේ උළෙලක්‌ මුල සිට අග දක්‌වා නරඹා ඇති අයකු පෝල් වර්ස්‌ ගේ ඉහත සඳහන් විස්‌තරයේ දළ නිරවද්‍යභාවය තහවුරු කරනු ඇත. පෝල් වර්ස්‌ තමා නිරීක්‌ෂණය කළ දෑ මැන බලා ගණන් කළේ නැත. කෙල්වින් සාමිවරයා වරක්‌ පැවසූ පරිදි, ඔබ කතා කරන දේ මැන එය ඉලක්‌කම්වලින් ප්‍රකාශ කළ හැකි නම් ඔබ ඒ දේ පිළිබඳව යම් දැනුමක්‌ ලබා ගෙන ඇත. එහෙත් ඔබ කතා කරන දේ මැනීමට නොහැකි නම්, ඒ පිළිබඳව යමක්‌ ඉලක්‌කම්වලින් ප්‍රකාශ කළ නොහැකි නම්, ඒ දේ පිsළිබඳව ඔබේ දැනුම ඉතා අල්ප වන අතර අසතුටුදායක වන්නේ ය. එය දැනුමේ ආරම්භය විය හැකි ය, එහෙත් ඔබේ සිතිවිලි සැබෑ විද්‍යාත්මක තත්ත්වයකට පත් වී නොමැති තරම් ය. ඔබ ගවේෂණය කරන ප්‍රපඤ්චය කුමක්‌ වුවත් කරුණු එසේ ම වන්නේ ය.

මැනීම

දේවාලවල වේ වා, සැණකෙළිවල වේ වා, සමාජ ශාලාවල වේ වා මා නිරීක්‌ෂණය කළ ගිනි පෑගීම් උත්සවවල දී,

මම පහත සඳහන් දෑ මැන බලා සටහන් කළෙමි. නොඑසේ නම් ගණන් කර බලා සටහන් කර ගත්තෙමි. ඒ මෙසේ ය.

1. ගිනි මැළවල දිග, පළල සහ ගැඹුර.

2. ගිනි මැළවල මතුපිට උෂ්ණත්වය.

3. ගිනි මැළයක්‌ තරණය කිරීමට ගිනි පාගන්නන් වැය කළ කාලය.

4. ගිනි මැළයක්‌ තරණය කිරීමේ දී ගිනි පාගන්නා ගේ යටි පතුල් ගිනි අඟුරු සමග ස්‌පර්ශ වූ වාර ගණන, එනම් ගිනි මැළය තරණය කිරීම සඳහා තැබූ පියවර ගණන.

මා මැන බැලු කිසිදු ගිනි මැළයක්‌ අඩි 20කට (මිටර් 6කට පමණ) වැඩි නො වී ය. කතරගම ශුද්ධ භූමියේ ගිනි මැළය අඩි 18ක්‌ විය. ගිනි මැළවල පළල අඩි හතරේ සිට හතක්‌ පමණ විය. (මීටර් 1.2 සිට 2.1ක්‌ පමණ විය.) ගිනි මැළවල ගැඹුර අඟල් 3 සිට අඟල් 6ක්‌ දක්‌වා (සෙන්ටි මීටර් 8 සිට 16ක්‌) පමණ විය.

ගිනි පෑගීම් පටන් ගැනීමට මොහොතකට පෙර ගිනි මැළවල මතුපිට උෂ්ණත්වය මැළයේ විවිධ ස්‌ථානවල අංශක 3000C සිට අංශක 4500C පමණ විය. මේ උෂ්ණත්වය මනිනු ලැබූයේ තාප - විද්යුත් අධි උෂ්ණ්‌මානයක්‌ උපයෝගී කරගෙන ය. මේ කටයුත්ත සඳහා ඒ උපකරණය දැනට තිබෙන ප්‍රශස්‌ත උපකරණය වන්නේ ය. (දෘෂ්ටික උෂ්ණමාන භාවිත කිරීම පහසු වුවත්, විශේෂයෙන් විදුලි ආලෝකය තිබෙන පරිසරවල, ඒවායින් ලබා ගන්නා දත්ත සදොස්‌ විය හැකි ය.)

ගිනි පෑගීමේ උත්සවවල දී ගිනිමැළ තරණය කිරීමට ගිනි පාගන්නන් වැය කරන කාලය විරාම ඝටිකාවකින් මනින ලදී. උදාහරණයක්‌ වශයෙන් කතරගම ගිනි පාගන උත්සවයේ දී, බැතිමතුන් සිය දෙනකු වෙන වෙන ම ගිනි මැළය තරණය කිරීමට වැය කළ කාලය නිර්ණය කරන ලදී. ඒ සිය දෙනාට ගත වූ සාමාන්‍ය කාලය තත්පර තුනක්‌ වූ අතර, පරාසය තත්පර 1.5 සිට තත්පර 6 දක්‌වා විය.

ගිනි මැළය තරණය කිරීමට එක්‌ එක්‌ බැතිමතා තැබූ පියවර සංඛ්‍යාව ගණන් කරන ලදී. ගිනි මැළය තරණය කිරීමට බැතිමතුන් සිය දෙනා තැබූ සාමාන්‍ය පියවර ගණන 10ක්‌ වූ අතර පරාසය පියවර 5 සිට 12 දක්‌වා විය.

යමකු දුවන්නේ නැති ව සැබැවින් ඇවිදින හෝ පියනඟන විට දී ඔහු ගේ පාද දෙකෙන් එකක්‌ හෝ අනෙක සිය සිරුරේ බර උසුලමින් සැම විට ම පොළොව මත පතිත වී තිබේ. යමකු ගිනි මැළය තරණය කිරීමට තබන පියවර අනුව, එක්‌ පියවරක්‌ ගැනීමේ දී, ඔහු ගේ යටි පතුල හා ගිනි මැළය අතර ඇති වන සාමාන්‍ය ස්‌පර්ශ කාලය ගණනය කළ හැකි ය. කතරගම දී අප විසින් නිරීක්‌ෂණය කරනු ලැබූ ගිනි පාගන්නන් සිය දෙනාට අදාළ වූ දත්ත මෙසේ ය.

ගිනි මැළය වේගයෙන් ම තරණය කළ බැතිමතා ගේ යටි පතුල් හා ගිනි අඟුරු අතර සාමාන්‍ය ස්‌පර්ශ කාලය තත්පර 0.2ක්‌ විය. ගිනි මැළය සෙමින් ම තරණය කළ බැතිමතා පිළිබඳව අදාළ ස්‌පර්ශ කාලය තත්පර 0.6ක්‌ විය. ගිනි පාගන්නන් සිය දෙනාට අදාළ වූ සාමාන්‍ය ස්‌පර්ශ කාලය තත්පර 0.3ක්‌ වූ අතර සම්මත අපගමනය තත්පර 0.08ක්‌ විය.

කෙටි ස්‌පර්ශ කාලය

ගවේෂණයේ මේ අවධියේ දී එක්‌තරා ප්‍රශ්නයක්‌ නිරායාසයෙන් පැන නැඟිණි. එනම් ගිනි පෑගීමේ දී ගිනි පාගන්නන් ගේ යටි පතුල් නො පිළිස්‌සෙන්නේ, ගිනි මැළය තරණය කිරීමේ දී ඔවුන් ගේ යටි පතුල් හා ගිනි අඟුරු අතර ඇති වන ස්‌පර්ශ කාලය අතිශයින් කෙටි වීම නිසා ද? යන්නයි. ප්‍රශ්නය වෙනත් ලෙසකට අසතොත් ගිනි පාගන ප්‍රපඤ්චයේ දී දිස්‌ වන්නේ යම් ප්‍රතිචාරයක්‌ ඇති වීමට අවශ්‍ය උත්තේජකය අවශ්‍ය අවම කාලය පුරා ක්‍රියාත්මක නො වීමේ ප්‍රතිඵලය ද? එය එසේ නම් මෙහි ලා මතු වන්නේ කදිම සිතලුවකි. එය මෙසේ ය. "ඇලිස්‌ විස්‌මලන්තයේ දී" යන්න සුප්‍රකට ඉංග්‍රීසි අද්භූත කතාවකි. ඒ කතාවේ එක්‌ තැනක දී ඇලිස්‌ නමැති කුඩා දැරිය අත් පුළුස්‌සා ගත්තේ එක්‌ සරල නියාමයක්‌ අමතක කළ නිසා ය. එනම් අතිශය ගිනියම් ලෝභ දණ්‌ඩක්‌ ඕනෑවට වඩා දීර්ඝ කාලයක්‌ අල්ලාගෙන සිටීමෙන් අත් පිළිස්‌සෙන බව අමතක කළ නිසා ය. ඇලිස්‌ ගේ මේ විග්‍රහය අනුව ගිනි පෑගීමේ දී සමහරුන් පිළිස්‌සුම් ලබන්නේ ගිනි අඟුරු සහ යටි පතුල් අතර ස්‌පර්ශ කාලය ඕනෑවට වඩා දීර්ඝ වන නිසා ද? අනෙක්‌ අතට නො පිළිස්‌සී ගිනි පාගන බැතිමතුන් නො පිළිස්‌සෙන්නේ, ගිනි පෑගීමේ දී ඔවුන් ගේ යටි පතුල් හා ගිනි අඟුරු අතර ඇති වූ ස්‌පර්ශ කාලය පිළිස්‌සීමක්‌ ඇති කරලීමට තරම් ප්‍රමාණවත් නො වූ නිසා ද?

සැම උත්තේජක-ප්‍රතිචාර ප්‍රපඤ්චවල දී ප්‍රතිචාරය රඳා පවතින්නේ උත්තේජකයේ භෞතික ලක්‌ෂණ මත පමණක්‌ නො වේ. පටකයේ භෞතික ලක්‌ෂණ ද ප්‍රතිචාරයේ ස්‌වභාවයට අදාළ වන සාධක වන්නේ ය. එහෙයින් ගවේෂණයේ ඊළඟ අදියරේ දී අපේ අවධානය යොමු වූයේ ගිනි පාගන්නන් ගේ පාද කෙරෙහි ය. වෙහෙසින් ඔවුන් ගේ යටි පතුල් කෙරෙහි ය. නිතර ගිනි පාගන ඇත්තන් ගේ පාද පරික්‌ෂා කර බැලීමේ දී අනාවරණය වූ එක්‌ කරුණක්‌ වූයේ ඔවුන් ගේ යටි පතුල්වල අපිචර්මය හෙවත් පිට සිවිය, නිතර පාවහන් පළඳින්නන් ගේ යටි පතුල්වල අපිචර්මයට සාපේක්‌ෂව ගනකම් සහ රළු වූ බව ය. ඔවුන් ගෙන් ඒ පිළිබඳව කෙළින් ම විමසූ විට ඔවුන් පැවසුවේ සිරිතක්‌ වශයෙන් ඔවුන් පාවහන් නො පළඳින බවයි. මෙහි ලා ප්‍රශ්න දෙකක්‌ අනිවාර්යයෙන් මතු වේ.

1. ගනකම් රළු යටි පතුල්වලට තුනී සිනිඳු යටි පතුල්වලට වඩා තාපයට ඔරොත්තු දීමේ හැකියාවක්‌ තිබේ ද?

2. සිරිතක්‌ වශයෙන් පාවහන් නො පැළඳීම යටි පතුල්වල තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරවනසුලු ද?

එපමණක්‌ ද නො වේ. ගිනි පාගන උත්සවවල දී ගිනි පෑගීමට සුළු වේලාවකට ප්‍රථමයෙන් ගිනි පාගන්නන් ස්‌නානය කරන බව හෝ යටත් පිරිසෙයින් සිය පාද ජලයේ බහා ලන බව ප්‍රකට කරුණකි. එසේ කිරීම ගිනි පෑගීමට සූදානම් වීමේ වත්පිළිවෙත්වලින් කොටසකි. උදාහරණයක්‌ වශයෙන් කතරගම දී ගිනි පෑගීමට පෙරාතුව හිමිදිරි යාමේ බැතිමත්තු මැණික්‌ ගඟේ ශීතල ජලයේ ස්‌නානය කරති. ඉක්‌බිති ඔවුහු තෙත ඇඳුමින් ම, නිරාවරණ පාදවලින් මහා දේවාල භූමියේ සකසා තිබෙන ගිනි මැළය වෙත පියමන් කරති. එම නිසා ගිනි පෑගීමට ආසන්න වන විට ඔවුන් ගේ යටි පතුල් තෙත ය, ශීතල ය, කිළිටි ය. කරුණු එසේ වන බැවින් තවත් ප්‍රශ්න තුනක්‌ අනිවාර්යයෙන් පැන නඟී. ඒවා මෙසේ ය.

1. ශීත යටි පතුල්වලට උණුසුම් යටි පතුල්වලට වඩා තාපයට ඔරොත්තු දීමේ හැකියාවක්‌ තිබේ ද?

2. තෙත යටි පතුල්වලට වියළි යටි පතුල්වලට වඩා තාපයට ඔරොත්තු දීමේ හැකියාවක්‌ තිබේ ද?

3. කිළිටි යටි පතුල්වලට පිරිසිදු යටි පතුල්වලට වඩා තාපයට ඔරොත්තු දීමේ හැකියාවක්‌ තිබේ ද?

පරික්‌ෂණාගාරයේ දී යථෝක්‌ත ප්‍රශ්න ප්‍රායෝගික විමර්ශනයකට භාජන කරන ලදී. එසේ කළේ එක්‌තරා විශේෂ උපකරණයක්‌ උපයෝගී කර ගෙන ය. උපකරණය සෙන්ටි මීටර් 30ක්‌ පමණ දික්‌ වූ ද විෂ්කම්භය සෙන්ටි මීටර් 5ක්‌ පමණ වූ ද සිලින්ඩරාකාර ලෝහ බටයකින් සමන්විත විය. එය මැනැවින් පොලිෂ් කර තිබිණි. බටයේ පහත කෙළවරේ වොට්‌ 40ක තාප ජනකයක්‌ සවි කර තිබිණි. බටයේ විවෘත අනෙක්‌ කෙළවරේ පරීක්‌ෂණයට භාජන වන තැනැත්තා ගේ නිරාවරණ යටි පතුල පහසුවෙන් තැබිය හැකි පරිද්දෙන් උපකරණය සකස්‌ කර තිබිණි. යම් අයකු පරීක්‌ෂණයට භාජන වීමේ දී නිරාවරණය වූ යටි පතුල බටයේ විවෘත කෙළවරේ තබනු ලබයි. ඔහුට නො දන්වා එක්‌ මොහොතක දී තාප ජනකය ක්‍රියාත්මක කරනු ලබයි. පරීක්‌ෂණයට පෙර, පරික්‌ෂණයට භාජන වන තැනැත්තාට දී තිබෙන උපදෙස්‌ මෙසේ ය.

1. ඔබට රස්‌නයක්‌ දැනෙන විට ම ඒ බව අපට දන්වන්න.

2. ඔබට රස්‌නය තවදුරටත් උසුලාගෙන සිටීමට බැරි වන විට පාදය උපකරණයෙන් ඉවතට ගන්න.

පරීක්‌ෂණයෙන් ලද ප්‍රතිචාර අනුව දත්ත දෙකක්‌ නිර්ණය කිරීමට හැකි විය. එකක්‌ පළමුවෙන් රස්‌නය දැනීමට ගත වූ කාලයයි. අනෙක තාපය නිසා වේදනාව පළමුවෙන් දැනීමට ගත වූ කාලයයි. පළමුව සටහන් වී තිබෙන්නේ සිරිතක්‌ වශයෙන් පාවහන් නො පළඳින පුද්ගලයන් 20 දෙනකු පිළිබඳව ලබා ගත් ප්‍රතිඵලයි. පාවහන් පළඳින්නන් ගේ යටි පතුල් තුනී සිනිඳු පිරිසිදු ඒවා වූ අතර පාවහන් නො පළඳින්නන් ගේ යටි පතුල් ඝන, රළු, අපිරිසිදු ඒවා විය.

දෙවැනි වගුවේ සටහන් වී තිබෙන්නේ පුද්ගලයන් දස දෙනකු පරික්‌ෂණයට භාජන කර ලබා ගත් ප්‍රතිඵලයි. මේ පරික්‌ෂණයේ දී පුද්ගලයන් ගේ යටි පතුල් ශීත ජලයේ බහා අංශක 310C පමණ සිට 220C පමණ දක්‌වා ශීතල කරන ලදී. ඔවුන් ගේ වියළි උණුසුම් යටි පතුල් හා තෙත ශීතල යටි පතුල් තාපයට දැක්‌වූ අදාළ ප්‍රතිචාර නිර්ණය කරන ලදී.

යථෝක්‌ත ඉන්ද්‍රියගෝචර ප්‍රත්‍යක්‌ෂ රාශිභූත වූවායින් පසු ව විද්‍යාත්මක ගවේෂණයේ දෙවැනි අදියරට පිවිසීමට උචිත කාලය උදා විණි. ඒ වූ කලී පූර්වෝක්‌ත නිරීක්‌ෂණ පහදා දිය හැකි උපකල්පනයක්‌ ගොඩනැඟීමේ අවධියයි. උපරිම වලංගුතාව අන්තර්ගත වන භාෂිතයෙන් ප්‍රකාශ කළ හොත්, අදාළ උපකල්පනයෙන් ප්‍රකාශ වන්නේ, සාම්ප්‍රදායික ගිනි පෑගීමේ උළෙලවල දී දක්‌නට ලැබෙන ගිනි මැළවල පවතින දිග, පළල, ගැඹුර හා මතුපිට උෂ්ණත්වවලින් සමන්විත ගිනි මැළ තරණය කිරීමේ දී, ගිනි පාගන්නන් නො පිළිස්‌සීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් ගිනි මැළය තරණය කිරීමේ දී ඔවුන් ගේ යටි පතුල් හා ගිනි අඟුරු අතර ඇති වන ස්‌පර්ශ කාලය, පිළිස්‌සීම් ඇති කිරීමට ප්‍රමාණවත් නො වීම ය. පිළිස්‌සීමක්‌ ඇති කිරීමට අවශ්‍ය අවම කාලය තාප පරිවාරක සාධක කිහිපයක්‌ මගින් දීර්ඝ කරනු ලබයි. එසේ දීර්ඝ කරනු ලබන්නේ ඝන යටි පතුල් තිබීම, යටි පතුල් තෙත් වී තිබීම, යටි පතුල් කිළිටි වී තිබීම සහ පතුල් සාමාන්‍ය යටි පතුල්වලට වඩා ශීතල වී තිබීම යන සාධක විසිනි.




මේ උපකල්පනයේ වලංගුභාවය නැවත නැවත පරික්‌ෂා කර බලා තහවුරු කර ඇත. පළමුවෙන් මිල්ල දරවලින් සකස්‌ දරන ලද ගිනි මැළ 15ක්‌ උපයෝගී කරගෙන උපකල්පනයේ වලංගුභාවය පරික්‌ෂා කරන ලදී. මේ ගිනි මැළ දිගින් මීටර් 3ක්‌ පමණ ද, පළලින් මීටර් 1/2ක්‌ පමණ ද, ගැඹුරෙන් සෙන්ටි මීටර් 4ක්‌ පමණ ද විය. ගිනි මැළවල විවිධ ස්‌ථානවල මතුපිට උෂ්ණත්වය අංශක 3500C සිට 5000C පමණ විය. කිසිදු ශාරීරික මානසික හෝ ආධ්‍යාත්මික සූදානම් වීමකින් තොර ව නිරෝගී වැඩිහිටි පිරිමි පස්‌ (5) දෙනෙක්‌ උපරිම වශයෙන් ගිනි මැළය මත අඩි 4ක්‌ තබමින් ද, ගිනි මැළය මත උපරිම වශයෙන් තත්පර දෙකක (2) කාලයක්‌ ගත කරමින් ද ගිනි මැළය තරණය කළෝ ය. ඔවුන් ගෙන් කිසිවකුට පිළිස්‌සුම් ඇති නො වී ය. අනතුරුව යථෝක්‌ත පිරිමි 5 දෙනා කතරගම ශුද්ධ භූමියේ සකස්‌ කරනු ලබන ගිනි මැළවලට හැකි තාක්‌ සමාන වන පරිද්දෙන් සකස්‌ කරනු ලැබූ ගිනි මැළ කිහිපයක්‌ කිසිදු උපද්‍රවයකින් තොර ව තරණය කළ හ. ගිනි මැළය සෙමින් ම තරණය කළේ කිසි දිනක පාවහන් නො පැළ» හතළිස්‌ පස්‌ හැවිරිදි නිරෝගී පිරිමියකි. දිගින් මීටර් 5ක්‌ පමණ වූ ද, පළලින් මීටර් 1 1/2ක්‌ පමණ වූ ද, ගැඹුරින් සෙන්ටිමීටර් 10ක්‌ පමණ වූ ද ගිනි මැළයක්‌ තත්පර 5ක කාලයක්‌ තුළ තැබූ පියවර 10කින් පිළිස්‌සුම් රහිතව ඔහු තරණය කළේ ය.

උපකල්පනයෙන් අනාවැකි (

විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කරගෙන ගවේෂණයක්‌ කිරීමේ තුන්වැනි අදියර වන්නේ අදාළ උපකල්පනයක්‌ පදනම් කරගෙන එළැඹෙන නිගමන හරි ද වැරැදි ද කියා පරික්‌ෂා කර බැලීමයි. ඇත්ත වශයෙන් ම උපකල්පනයක වලංගුභාවය පිළිබඳ තීරණාත්මක උරගා බැලීම වන්නේ, උපකල්පනය පදනම් කොටගෙන කියන අනාවැකි නිවැරැදි යෑයි සනාථ වන තරමටයි. සමහරුන් අපරිස්‌සම් ව එසේ කර ඇතත්, ගිනි පෑගීම පිළිබඳ යථෝක්‌ත උපකල්පනයෙන් "ඕනෑ ම කෙනකුට නො පිළිස්‌සී ගිනි පෑගිය හැකි ය" යන්න අපෝහනය කළ නොහැකි ය. තවත් සමහරුන් නිගමනය කර තිබෙන පරිදි "නො පිළිස්‌සී ගිනි පෑගිය හැක්‌කේ යටි පතුල් ඝන අයට පමණි" යන්න ද උපකල්පනයෙන් නිවැරැදි ව අපෝහනය කළ නොහැකි ය.

එහෙත් නො පිළිස්‌සී ගිනි පෑගීම සඳහා මස්‌ මාංශ වැළඳීමෙන්, මත්පැන් පානයෙන් සහ ලිංගික කටයුතුවලින් වැළකී සිටීම අනවශ්‍ය බව නිගමනය කිරීම යුක්‌ති යුක්‌ත ය. මේ නිගමනය නිවැරැදි බව නැවත නැවත පරීක්‌ෂණ මගින් අප විසින් සනාථ කරනු ලැබ ඇත.

අදාළ උපකල්පනයට අනුව ගිනි පෑගීමේ දී ගිනි පාගන්නන් නො පිළිස්‌සෙන්නේ ප්‍රධාන කොට ම ගිනි අඟුරු සහ යටි පතුල් අතර ඇති වන ස්‌පර්ශ කාලය එක්‌තරා අවම කාලයකට වඩා කෙටි නිසා ය. එහෙයින් මෙහි ලා එක්‌තරා ප්‍රශ්නයක්‌ මතු කිරීම සාධාරණ ය. එනම් කිසිදු පිළිස්‌සීමක්‌ ඇති නො වී, ගිනි පෑගිය හැකි උපරිම ස්‌පර්ශ කාලය කොපමණ ද? යන්නයි. ගිනි පෑගීම පිළිබඳව උත්තේජකය වන ගිනි මැළයේ තාපය මෙන්ම, ප්‍රතිචාර ඇති වන යටි පතුල්වල වෙනස්‌ විය හැකි විවිධ භෞතික ලක්‌ෂණ ගැන ද සලකා බලන විට යථෝක්‌ත ප්‍රශ්නයට එක්‌ නිශ්චිත පිළිතුරක්‌ දීම උගහට බව කිව යුතු ව ඇත.

මාතෘකාව ගැන මා කියවා ඇති විද්‍යාත්මක ලිපි ලේඛනවලට අනුව, ගිනි පෑගිමක දී පිළිස්‌සීමක්‌ නොමැති ව ගිනි අඟුරු සහ සටි පතුල් අතර දීර්ඝ ම ස්‌පර්ශ කාලයක්‌ වාර්තා කර තිබෙන්නේ, සුප්‍රකට විඡ්ජාකාරයකු මෙන්ම ප්‍රවීණ ගිනි පාගන්නකු ද වූ කුඩා බුක්‌ස්‌ නමැත්තා ය. මැනසික ප්‍රපඤ්ච පිළිබඳව ගවේෂණය කිරීම සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මණ්‌ඩලයේ 1930 ගණන්වල දී ගරු ලේකම් වූයේ හැරී ප්‍රයිස්‌ නමැත්තෙකි. ඔහුට අනුව කාශ්මීර ජාතික කුඩා බුක්‌ස්‌, ඉන්දියාවේ දී වසර ගණනාවක්‌ තිස්‌සේ, සැණකෙළි සතිය පුරා දිනකට හය වතාවක්‌ ගිනි පෑගීමට පුරුදු පුහුණු ව සිටි අයෙකි. වර්ෂ 1935 දී ඔහු එංගලන්තයට පැමිණ ගිනි පෑගීමේ ප්‍රදර්ශන කිහිපයක්‌ පැවැත්වූයේ ය. ඒ වසරේ සැප්තැම්බර් මාසයේ 9 වැනි දා කොලියර් නමැති ඔක්‌ස්‌µඩ් වෛද්‍යවරයා විසින් කුඩා බුක්‌ස්‌ ගේ පාද පරික්‌ෂා කරන ලදී. වෛද්‍ය කොලියර් ගේ නිගමනය වූයේ කුඩා බුක්‌ස්‌ ගේ යටි පතුල්වල අපිචර්මයේ තරමක ඝන ස්‌වභාවයක්‌ තිබූ බවයි. (එහෙත් එක්‌ හෙදියක්‌ සහ හැරී ප්‍රයිස්‌,  වෛද්‍ය කොලියර් සමග එකඟ නො වූ හ.) වර්ෂ 1935 සැප්තැම්බර් මස 17 වැනි දා කුඩා බුක්‌ස්‌ ගිනි පෑගීමේ ප්‍රදර්ශනයක්‌ පැවැත්වී ය. ප්‍රදර්ශනයට සුළු මොහොතකට පෙර මහාචාර්ය පැනට්‌ කුඩා බුක්‌ස්‌ ගේ පාද පරික්‌ෂා කර ඔහු ගේ පටි පතුල්වල අපිචර්මය මෘදු බව සටහන් කළේ ය. මහාචාර්යවරයා කුඩා බුක්‌ස්‌ ගේ යටි පතුල්වල උෂ්ණත්වය අංශක 93.2 බව නිර්ණය කර, ඔහු ගේ යටි පතුල් ඉතා සීත බව ද වාර්තා කළේ ය. ගිනි පෑගීමට මොහොතකට පෙර කුඩා බුක්‌ස්‌ ගේ පාද ජලයෙන් සෝදන ලදී.

තම ඉතා ශීත තෙත පාදවලින් කුඩා බුක්‌ස්‌ නම් විඡ්ජාකාරයා ගිනි මැළය තරණය කළේ ය. හැරී ප්‍රයිස්‌ට අනුව ඔහු සෙමින් ම ගිනි මැළය තරණය කළ අවස්‌ථාවේ දී කුඩා බුක්‌ස්‌ දිග පිය හතරකින් තරණය නිම කළේ ය. ඒ තරණය සඳහා තත්පර 4.5ක්‌ ගත විය. "දිග පිය හතරකින්" ගිනි මැළය තරණය කිරීමේ දී ඔහු ගේ පාද දෙක ගිනි මැළය සමග පස්‌ වතාවක්‌ ස්‌පර්ශ වූ බව තරණය කරන විලාසය විග්‍රහ කර බැලීමෙන් ගණනය කළ හැකි ය. එබැවින් එක්‌ පියවරක්‌ තැබීමේ දී ගිනි අඟුරු හා යටි පතුල් අතර ස්‌පර්ශ කාලය තත්පර 0.9ක්‌ වනු ඇත. ඔහු ගේ යටි පතුල්වල පිළිස්‌සුම් ඇති වූයේ නැත.

කතරගම බැතිමතුන්

වර්ෂ 1957 දී වෛද්‍ය ආර්. ස්‌පිට්‌ල් මහතා "ෆාර් ඔෆ් තිංස්‌" නමැති කෘතියේ කතරගම ගිනි පෑගූ එක්‌තරා අභාග්‍යසම්පන්න බැතිමතකු ගැන සඳහන් කර තිබේ. ඔහු අනෙක්‌ බැතිමතුන් පරයමින් ගිනි මැළය තරණය කර ඇත්තේ කාවඩියක්‌ කරේ අටවාගෙන ය. ගිනි මැළයේ යාර කිහිපයක්‌ ගිය ඔහු ගිනි මැළය මත අහම්බෙන් ඇද වැටී දරුණු ලෙස පිළිස්‌සුම් ලබා ගිනි මැළයෙන් මුදවාගෙන ටික වේලාවකට පසු මිය ගිය බව කෘතියෙන් වාර්තා වී තිබේ.

පූර්වෝක්‌ත බැතිමතා ගිනි මැළයෙන් ඉවත් කර ගැනීමට කලින් ඔහු ගේ ශරීරයේ විශාල ප්‍රදේශ කිහිපයක්‌ ගිනියම් වූ අඟුරු සමග විනාඩියකට වැඩි කාලයක්‌ තුළ අඛණ්‌ඩව ස්‌පර්ශ වන්නට ඇතැයි නිගමනය කිරීම සහේතුක ය. ඒ කාලය තුළ දී ඔහු ලැබූ පිළිස්‌සුම් හේතු කොටගෙන ඔහු මිය ගියේ ය. මේ තනි උදාහරණය පදනම් කොටගෙන සාමාන්‍යකරණයට එළඹීම උද්ගාමී ස්‌වාභාවික විද්‍යාවට පටහැනි බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් යමකු ගේ සිරුරේ කොටසක්‌ විනාඩියකට වැඩි කාලයක්‌ ගිනියම් අඟුරු සමග ස්‌පර්ශ වුව හොත් පිළිස්‌සුම් තුවාල ඇති නො වීමට තිබෙන සම්භාවිතාව අල්පිෂ්ට බව මා නිගමනය කරන්නේ හුදෙක්‌ ඉහත සඳහන් කළ බැතිමතා ගේ උදාහරණය පදනම් කොටගෙන නො වන බව කිව යුතු ව ඇත.

කතරගම ගිනි පාගන්නන් හා බැතිමතුන් ගේ සංගමයේ සභාපතිතුමා එක්‌තරා ප්‍රකාශයක්‌ ප්‍රසිද්ධියේ මට යොමු කළේ ය. එය මෙසේ ය. "අංශක 6000F සිට අංශක 8000F උෂ්ණත්වයක්‌ ඇති ගිනියම් අඟුරු මත යමකු සිය පාද විනාඩියකට වැඩි කාලයක්‌ තිබා සිටිය හොත් ඒ පාදවල පිළිස්‌සුම් ඇති වෙනවා ද? මේ ප්‍රශ්නයට ඔබ කෙළින් පිළිතුරක්‌ දෙන්නේ නම් අප ගිනි පාගන්නේ දේව බලයෙන් කියා අප ඔප්පු කරන්නට සූදානම් ය." අංශක 6000F - 8000F උෂ්ණත්වයක්‌ ඇති ගිනියම් අඟුරු මත සිය නිරාවරණ පාද නො පිළිස්‌සී විනාඩියකට වැඩි කාලයක්‌ තුළ අඛණ්‌ඩව තබා සිටීමට යමකුට හැකි නම් මා දන්නා විද්‍යාවෙන් එය අවබෝධ කරගත නොහැකි බව මම නොවළහා පවසමි.
 විදුසර

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු