වස්‌තු මනසෙහි පැවතීම

මන්දාකිණියක්‌ පමණක්‌ නො ව පුටුවක්‌, මේසයක්‌, ගසක්‌ වැනි වෙනත් ඕනෑ ම වස්‌තුවක්‌ වුව ද මනසෙන් ඈත පිහිටියේ නො වේ. ඒ වස්‌තුවලට ද මනසේ සිට ඇති දුර ශුන්‍ය වෙයි. නැවතත් අවධාරණය කළ යුත්තේ මෙහි දුර යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ අවකාශයේ ඇති දුර හෝ සාපේක්‍ෂතාවාදයේ කියෑවෙන අවකාශ- කාලයෙහි ඇති අවකාශ කාල ප්‍රාන්තරය හෝ නො වන බව ය. සාපේක්‍ෂතාවාදයට අනුව ෆොaටෝනයක සිද්ධි දෙකක්‌ අතර ඇති අවකාශ කාල ප්‍රාන්තරය නම් ශුන්‍ය වෙයි.

මනසෙහි යම් වස්‌තුවක්‌ පවතින්නේ ඒ ගැන සිතන අවස්‌ථාවෙහි පමණ ය. අනෙක්‌ අවස්‌ථාවල ඒ අදාළ වස්‌තුව මනසෙහි නො පවතියි. උදාහරණයක්‌ වශයෙන් අපට දැන් රුවන්වැලි සෑය ගැන සිතිය හැකි ය. එවිට රුවන්වැලි සෑය අප ගේ මනස්‌වලට ගෝචර වෙයි. එහෙත් ඊළඟ මොහොතෙහි අප පරාක්‍රම සමුද්‍රය ගැන සිතුව හොත් අපේ මනස්‌වල ඇත්තේ පරාක්‍රම සමුද්‍රය මිස රුවන්වැලි සෑය නො වේ. මෙයින් කියෑවෙන්නේ රුවන්වැලි සෑය හෝ පරාක්‍රම සමුද්‍රය හෝ අපට සාපේක්‍ෂව පවතින්නේ ඒ ගැන සිතන සුළු කාල ප්‍රාන්තරවල දී පමණක්‌ බව ද?

අප එලෙස ගැනීමෙන් වළක්‌වන්නේ අපේ මතකය විසිනි. මනසේ එක්‌ ප්‍රධාන කාරණයක්‌ වන්නේත් මනස මනසක්‌ වන්නේත් මේ මතකය නිසා ය. එසේ නැත හොත් අපට ඇත්තේ සම්බන්ධයක්‌ නැති සිත් පේළියක්‌ පමණකි. කාලය වෙබ් අඩවියේ මනස ගැන ලියෑවී ඇති ලිපිය (http://www.kalaya.org/files/nps070405.pdf) කියවීමෙන් මේ පිළිබඳ විස්‌තර දැනගත හැකි ය.

අප යමක්‌ ගැන සිතන විට පමණක්‌ ඒ පිළිබඳ චිත්තයක්‌ ඇති වන බව සැබෑ ය. එහෙත් ඒ පිළිබඳ මතකයක්‌ ඇති බැවින් ඒ ගැන නො සිතන අවස්‌ථාවල දී ද ඒ වස්‌තු මනසෙහි පවතින්නේ යෑයි අපි ගනිමු. අප සංකල්පයක්‌ තනන්නේ, සංස්‌කරණය කරන්නේ අතීතයට ද බලපාන පරිද්දෙන් යෑයි අප කියා ඇත. එය තරමක්‌ සංශෝධනය කර අප සංකල්පයක්‌ සංස්‌කරණය කරන්නේ අතීතයට මෙන් ම අනාගතයට ද බලපාන පරිද්දෙන් යෑයි ගත යුතු ය.

මෙහි දී කිව යුතු තවත් කරුණක්‌ වෙයි. අප දුරේක්‍ෂයකින් මන්දාකිණියක්‌ නිරීක්‍ෂණය කරන විට මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඒ මොහොතෙහි ම චිත්තයක ඇති වෙයි. එහි දී මනස මෙන් ම ඇස ද ක්‍රියාත්මක වෙයි. එවිට අපට ඇත්තේ චක්‌ඛු විඥනයකි. එහෙත් අප දුරක සිට සිතෙන් රුවන්වැලි සෑය ගැන මතක්‌ කරගන්නා විට ඇස ක්‍රියාත්මක නො වේ. අප කලින් රුවන්වැලි සෑය දැක තිබුණ ද ඒ පිළිබඳ මතක්‌ කරන විට අප එය දකින්නේ මනසින් පමණකි. මන්දාකිණියක්‌ හෝ හඳ වැනි වෙනත් ආකාශ වස්‌තුවක්‌ හෝ මතක්‌ කරගන්නා විට ද අප ඒ දකින්නේ මනසින් පමණකි. එය මනසට ම පමණක්‌ සීමා වූ විඥනයකි. අවශ්‍ය නම් අපට එයට මනෝ විඥනයක්‌ යෑයි කිව හැකි ය.

අප යමක්‌ ගැන නො සිතන විට ඒ දේ නො පවතින්නේ යෑයි අපි නො කියමු. එසේ ම යමක්‌ ගැන සිතූ පමණින් ඒ දේ පවතින්නේ යෑයි ද අපි නො කියමු. මට ඒකපාද සත්ත්වයන් ගැන සිතිය හැකි ය. එහෙත් එපමණකින් ඒකපාද සත්ත්වයන් ගේ පැවැත්මක්‌ ගැන කිව හැකි නො වේ. මෙහි දී පවතින්නේ යෑයි කියනු ලබන්නේ සම්මුතියෙන් පමණක්‌ බව ද අවධාරණය කළ යුතු ය. පරමාර්ථ වශයෙන් ගත හොත් නම් කිසිවක්‌ නො පවතියි. ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම හා ශුන්‍ය වෙයි. මෙහි පරමාර්ථ යනුවෙන් සැලකෙන්නේ ද අභිධර්මයෙහි සඳහන් පරමාර්ථ ධර්මයන් නො වේ. බෝධි හිමියන් අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඉංගිරිසි පරිවර්තනයෙහි පෙරවදනෙහි සඳහන් ඇති පරිදි අභිධර්මයෙහි සඳහන් නිවන හැරෙන්නට අනෙක්‌ පරමාර්ථ ධර්ම මනසට ගත හැකි කුඩා ම ධර්ම යෑයි ගැනීම නිවැරැදි යෑයි සිතමි.

එක්‌තරා ආකාරයකින් ගත හොත් ඒ පරමාර්ථ ධර්ම මනසට ගත හැකි සියුම් ම ධර්ම වෙයි. ඒ අර්ථයෙන් ගත් විට අප එකිනෙකා ගේ මනස්‌වල සියුම්භාවය අනුව ඒ පරමාර්ථ ධර්ම පවත්නා කාලය ද වෙනස්‌ වන්නේ යෑයි සිතිය හැකි ය. ඒ පරමාර්ථ ධර්ම ද මනසට සාපේක්‍ෂ විය යුතු ය. මනසට ගත හැකි යන්නෙහි ම මනසට සාපේක්‍ෂ යන අදහස වෙයි. එසේ ගත් විට නිවන හැරෙන්නට අභිධර්මයෙහි සඳහන් පරමාර්ථ ධර්ම ද මනසට සාපේක්‍ෂ වෙයි. මනසට සාපේක්‍ෂ නො වූ ලෞකික වූ කිසිවක්‌ අපට ග්‍රහණය කරගත නො හැකි ය. ලෝකය යෑයි අප ගන්නේ අපේ මනසට සාපේක්‍ෂ වූ දේ පමණ ය. අපේ මනසට සාපේක්‍ෂ නො වූ කිසිවක්‌ අපට නැත.

එනම් මනසට සාපේක්‍ෂ නො වූ කිසිවක්‌ අපට සාපේක්‍ෂව ලොව නො පවතියි. අප මනසට සාපේක්‍ෂව යමක්‌ ග්‍රහණය කරන්නේ, ගන්නේ සංකල්පයක්‌ සහිත ව ය. සංකල්පයක්‌ නොමැති ව මනස කිසිවක්‌ ග්‍රහණය කර නො ගනියි. නැවතත් අවධාරණය කළ යුතු වන්නේ සංකල්පයක්‌ වචනවලින් ම ප්‍රකාශ කිරීම අනිවාර්ය නො වන බව ය. චිත්ත රූප ද සංකල්ප වෙයි. කලින් කියා ඇති පරිදි බසක්‌ නො දත් ළදරුවන්ට ද අනෙක්‌ සතුන්ට ද සංකල්ප වෙයි. එහෙත් ඔවුන්ට ඒවා වචනවලින් ප්‍රකාශ කිරීමට නො හැකි ය.

මන්දාකිණි, පුටු, මේස ආදිය අප ඒ ගැන යම් මොහොතක සිතුවත් නැතත් අප යම් මොහොතක ඒ ගැන දැනගෙන සිටියේ නම් හා ඒ අමතක නො වී ඇත්නම් අපට සාපේක්‍ෂව ඒවා පවතියි. එහෙත් ඒ අපෙන් තොර ව නිරපේක්‍ෂව පවත්නා දේ නො වේ. මා විසින් මගේ ලෝකය කෘතියෙහි සඳහන් කරනු ලැබ ඇති ආකාරයට ඇතැම් නිවෙස්‌වල ඇති උඩැක්‌කි හැඩය ගන්නා ආසන ඒ ආසන ලෙස නුදුටු අයට ආසන වන්නේ නො වේ. එවැන්නකු එවැනි ආසනයක්‌ දුටුව ද ඒ දෙස බොහෝ විට බලනු ඇත්තේ ආසනයක්‌a නො වන යම් ගෘහ භාණ්‌ඩයක්‌ ලෙස ය. එවැන්නකුට සාපේක්‍ෂව උඩැක්‌කිය හැඩය ගත් ආසනය ආසනයක්‌ නො වේ. වෙනත් වචනවලින් කියන්නේ නම් එවැන්නකුට සාපේක්‍ෂව උඩැක්‌කි හැඩය ගත් ආසන නො පවතියි.

එහෙත් වෙනත් අයට සාපේක්‍ෂව උඩැක්‌කි හැඩය ගත් ආසන පවතියි. අර කලින් කී තැනැත්තාට ද උඩැක්‌කි හැඩය ගත් ආසන පිළිබඳව කිසිවකු විසින් කියා දෙනු ලැබීමෙන් පසුව හා ඔහු ඒ පිළිගැනීමෙන් පසුව ඔහුට සාපේක්‍ෂව ද එවැනි ආසන පවතියි. එහෙත් කාලය වශයෙන් ගත් කල එයට පළමුව ඔහුට එවැනි ආසන පැවතී නැත. උදාහරණයක්‌ ලෙස ගත හොත් ඒ තැනැත්තා පළමුවරට උඩැක්‌කි ආකාරයේ ආසන ගැන අවබෝධයක්‌ ලබා ඒ පිළිගන්නේ මැදි වියේ දී නම් ඔහුට ළමා කාලයේ දී එවැනි ආසන තිබී නැත.

එහෙත් යමකු සංකල්ප තනන්නේ අතීතයට ද අනාගතයට ද බලපාන අයුරින් ය. ඉන් කියෑවෙන්නේ ඒ තැනැත්තා ගේ ළමා කාලයේ දී ඔහුට සාපේක්‍ෂව එවැනි ආසන තිබූ බව නො වේ. අපට කිව හැක්‌කේ ඔහු ගේ ළමා අවධියේ දී ද එවැනි ආසන තිබූ බවට ඔහු අනුමානයකට (inference) එළඹෙන බව ය. ඔහු ගේ ළමා අවධියෙහි දී ඔහුට සාපේක්‍ෂව එවැනි ආසන නො තිබූ නමුත් ඔහුට තම ළමා වියේ දී එවැනි ආසන පැවැති බවට නිගමනයකට, දර්ශනයෙහි කියෑවෙන ආකාරයට නම් අනුමානයකට, එළඹිය හැකි ය. මිනිසුන් තම ළමා කාලයෙහි ද මන්දාකිණි පැවැති බවට නිගමනය කරන්නේ ළමා කාලයේ දී මන්දාකිණි දැක ඇති නිසා වත් තමන්ට සාපේක්‍ෂව ඒවා ග්‍රහණය කර ඇති නිසා වත් නො ව ඔවුන් අතීතයට බලපාන පරිදි සංකල්ප නිර්මාණය කරගෙන ඇති බැවිනි.

එසේ ම ඒ පුද්ගලයා අනාගතයේ ද මන්දාකිණි පවතින බවට එවැනි ම වූ නිගමනයකට (අනුමානයකට) එළඹෙන්නේ සංකල්ප අනාගතයට ද බලපාන පරිදි සංස්‌කරණය කරගෙන ඇති බැවිනි. මෙයින් කියෑවෙන්නේ අතීතයේ දී ද වර්තමානයේ දී ද අනාගතයේ දී ද ඒ පුද්ගලයාට සාපේක්‍ෂව සම්මුතියෙන් මන්දාකිණි පවතින බව ය. මෙහි ඇති ප්‍රධාන වචන නම් සාපේක්‍ෂව, සම්මුතියෙන් හා පවතින යන්න ය. යම් සත්ත්වයකුට මන්දාකිණි සම්මුතියෙන් පවතින්නේ ය යන්නෙන් වෙනත් පුද්ගලයකුට හෝ වෙනත් සත්ත්වයකුට හෝ මන්දාකිණි පවතින්නේ යෑයි නො කියෑවෙයි. පවතින්නේ ය යන්න සැම විට ම යොදා ගැනෙන්නේ සම්මුති අර්ථයකින් බව සැලකිය යුතු ය.

ඇතැම් අයට මන්දාකිණි තිබෙන්නටත් තවත් අයට මන්දාකිණි නො තිබෙන්නටත් හැකි දැයි යනුවෙන් ප්‍රශ්නයක්‌ ඇති විය හැකි ය. මන්දාකිණි පමණක්‌ නො ව අන් සැම දෙයක්‌ ගැන ම ද කිව හැක්‌කේ ඇතැම් අයට ඒ පවතින බවත් තවත් අයට ඒ නො පවතින බවත් ය. ඇස්‌කිමෝවරුනට, එනම් ඇස්‌කිමෝවරුනට සාපේක්‍ෂව, හිමෙහි ප්‍රභේද රාශියක්‌ වෙයි. එහෙත් සිංහලයන්ට සාපේක්‍ෂව ඇත්තේ එක්‌ හිම වර්ගයක්‌ පමණකි. ඇස්‌කිමෝවරුනට ඇති හිම සිංහලයන්ට නැත. එමෙන් ම සිංහලයන්ට ඇති කිරිබත්, හීල්බත්, බෙරිබත්, දැඩිබත් ආදී බත් වර්ග ඇස්‌කිමෝවරුනට නැත.

එහෙත් එක්‌ මිනිසකුට වුවත් සාපේක්‍ෂව යමක්‌ පවතින්නේ නම් ඒ පොදුවේ නො පවතින්නේ ද යන ප්‍රශ්නය ඇසිය හැකි ය. එහෙත් ප්‍රශ්නය වනුයේ වෙනත් අයකු එවැනි අවස්‌ථාවක දී වෙනත් අයුරකින් සිතීම ය. උදාහරණයකට මන්දාකිණිය ම ගනිමු. මන්දාකිණි යනුවෙන් අද අප විසින් හඳුන්වනු ලබන්නේ බටහිර තාරකා විද්‍යාඥයන් ගැලක්‌සීස්‌ (Galaxies) යනුවෙන් හඳුන්වන වස්‌තු විශේෂයකි. දැනට අවුරුදු සියයට පමණ පෙර බටහිරයන්ට මන්දාකිණි නො වී ය. එහෙත් භාරතයේ හා ලංකාවේ විසූ ජනතාවට සක්‌වළ හෙවත් චක්‍රාවාට යෑයි හඳුන්වනු ලැබූ වස්‌තු දස දහස්‌ සංඛ්‍යාවක්‌ විශ්වයෙහි විය. මේ සක්‌වළ හා මන්දාකිණි යනු එක ම නො වේ. විශ්වයෙන් යම් කොටසක්‌ බටහිරයන් විසින් මන්දාකිණි ලෙස හඳුන්වනු ලැබේ. ඒ අතර ඒ කොටස ම නො වුණත් එවැනි වූ කොටසක්‌ භාරතීයයන් හා සිංහලයන් විසින් සක්‌වළ යනුවෙන් හඳුන්වනු ලැබිණි. පිටසක්‌වළ යනු අපේ සක්‌වළින් බාහිරව පිහිටි සක්‌වළ වේ.

අප බොහෝ කලක සිට සිංහලයන් අම්මා යනුවෙන් හඳුන්වන්නේ ඉංගිරිසින් මදර් (mother) යනුවෙන් හඳුන්වන්නිය ම නො වන බව කියා ඇත. අම්මා යන මදර් යන්නෙහි පරිවර්තනය ලෙස ගැනුණ ද එහි ඇත්තේ සංකල්ප දෙකකි. මුළු ලොවට ම පොදු වූ අම්මා කෙනකු නැත. ඒ ඒ සංස්‌කෘතියෙහි ඒ ඒ වචනවලින් කියෑවෙන්නේ විවිධ සංකල්ප ය. ඒ සංකල්පවලින් කියෑවෙන ගුණ අතර අඩු වැඩි වශයෙන් සමානකම් තිබිය හැකි ය. එහෙත් එකක්‌ වෙනුවට අනෙකක්‌ ආදේශ කළ හැකි නො වේ.

එපමණක්‌ නො වේ. සිංහලයන් ගේ අම්මා වුව ද කාලයත් සමඟ වෙනස්‌ වෙයි. අවුරුදු තුන් හාර සියයකට පෙර අම්මා යන්නෙන් ජනිත වූ අදහස්‌ අද අම්මා යෑයි කී විට ජනිත නො වනවා විය හැකි ය. එමෙන් ම එකල ජනිත නො වූ අදහසක්‌ අද අම්මා යනුවෙන් කී විට ජනිත වනවා ඇත. අද බොහෝ අම්මලා දුක්‌ගන්නේ තම දරුවන් සමාජයේ යහපත් පුද්ගලයන් බවට පත් කිරීමට නො ව උසස්‌ තැනකට පත් කිරීමට ය. පහේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණය අම්මලා ගේ විභාගය බවට අද පත් වී ඇත. එහෙත් එදා අම්මා යෑයි කී විට දරුවන් සමාජයේ උසස්‌ යෑයි සම්මත තැනකට ගෙන ඒමට මහන්සි ගන්නා අයකු සිතට නො නැඟි බව කිව හැකි ය.

මහාචාර්ය නලින් ද සිල්වා

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු