නිවුටන්ගේ හිස මතට කිසි දිනක ඇපල් ගෙඩියක් පතිත වි නැත



ඒ ඇයි?


රබර් බෝලයක්‌ බිම වැටුණු විට පොලා පනින්නේ ඇයි?

රබර් බෝලයක්‌ බිම වැටුණු විට එය පෙළොවේ ගැටීම හේතු කරගෙන විරූපණයට භාජන වෙයි. එනම් පොළොව සමග ස්‌පර්ශ වන ප්‍රදේශය ඇතුළට එබෙයි. රබර් බෝලය සතු ප්‍රත්‍යස්‌ථතා ගුණය නිසා එය නැවත මුල් ස්‌වරූපයට පත් වෙයි. එහි දී බෝලය මගින් පොළොව මත ඇති කරන පීඩන බලයට එරෙහි ව පොළොව මගින් බෝලය මත ඉහළට ඇති කරන ප්‍රතික්‍රියා බලය (බලය පිළිබඳ නිව්ටන් ගේ තුන්වැනි නියමයට අනුව) හේතුවෙන් බෝලය පොලා පනියි.

තට්‌ටු දෙකේ බස්‌ රථයක ඉහළ තට්‌ටුවේ ගමන් කරන විට හෝ බෝට්‌ටුවක යාත්‍රා කරන විට හෝ මගීන්ට සිටගෙන ගමන් කිරීමට ඉඩ නො දෙන්නේ ඇයි?

තට්‌ටු දෙකේ බස්‌ රථය වංගුවක්‌ ගැනීමේ දී හෝ බෝට්‌ටුව හැරවීමේ දී හෝ එහි එලෙස මගීන් සිටගෙන ගමන් ගැනීම හේතුවෙන් බස්‌ රථයේ හෝ බෝට්‌ටුවේ හෝ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්‌ථානය ඉහළ ගොස්‌ බස්‌ රථය හෝ බෝට්‌ටුව හෝ පෙරැළීමට පෙලඹවීමක්‌ ඇති වන නිසා ය.

අභියෝගය

මෙය මනසින් පමණක්‌ සිදු කළ යුතු අභ්‍යාසයකි. කඩදාසියක්‌ හෝ කතුරක්‌ භාවිත නො කරන්න. කඩදාසි කැබැල්ලක්‌ (මනසින්) ගන්න. දැන් මේ කඩදාසි කැබැල්ල හරි මැදින් නවන්න. පසුව එම නැවූ කඩදාසිය යළිත් හරි මැදින් නවන්න. දෙවැනි වතාවේ කඩදාසිය නැවිය යුත්තේ පළමු වතාවේ දී ඇති වූ නැම්ම සමග දෙවැනි වතාවේ දී ඇති වුQ නැම්ම සෘජුකෝණයක්‌ සාදන පරිදි ය. දැන් ඔබ සතු ව කඩදාසියේ ඝනකම මෙන් සිව් ගුණයක්‌ ඇත. දැන් මේ කඩදාසි ඉරු හතර ම හසු වන සේ කතුරකින් හරි මැදින් කපන්න. මතක තබාගන්න, ඔබ කැපුම කළ යුතු වන්නේ මුල් නැම්මට සමාන්තරව ය. දැන්, ඔබ අතෙහි කඩදාසි කැබලි කීයක්‌ තිබේ ද? 

ඇත්ත ම ද? - නිව්ටන් සහ ඇපල්

ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමය ලෝකයට ඉදිරිපත් කළ මහා විද්‍යාඥ ශ්‍රීමත් අයිසැක්‌ නිව්ටන් ගේ හිසට ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ එම අදහස ඇතුළු කරවන්නට හේතු වූයේ ඔහු ගේ හිස මතට ඇපල් ගෙඩියක්‌ පතිත වීමේ සිද්ධිය ය යන්න අතීතයේ සිට ම එන ප්‍රසිද්ධ කතාවකි. එහෙත් ඒ පැරැණි කාතාන්දරය සැබෑවක්‌ නො වන බව අපි ඔබට කියමු. 

සත්‍ය වශයෙන් ම සිදු වී ඇත්තේ අයිසැක්‌ නිව්ටන් තම මවට අයත් ව තිබූ ගොවිපොළක රැඳී සිටිය දී එහි වූ ඇපල් ගසකින් ගෙඩියක්‌ බිමට වැටෙනු දැකීම ය. මෙසේ වස්‌තූන් බිම පතිත වන්නේ පෘථිවිය මගින් ඒවා මත ක්‍රියාත්මක කරන යම් ආකර්ෂණ බලයක්‌ නිසා යෑයි ඔහු ගේ සිත තුළ උපකල්පනයක්‌ ඇති වීමට හා ඒ ඔස්‌සේ වඩ වඩාත් සිතන්නට ඔහු පෙලැඹී ඇත්තේ එයින් පසුව ය. නිව්ටන් සතු වූ එකී විශිෂ්ට පරිකල්පන ශක්‌තිය නිසා ම චන්ද්‍රයා, පෘථිවිය වටා කක්‌ෂයක පරිභ්‍රමණය වන්නේ ද පෘථිවිය සතු එම ආකර්ෂණ බලය නිසා බැව් ද අවසානයේ දී ඔහු වටහා ගත්තේ ය. 

එහෙත් අප වටහා ගත යුතු සත්‍යය නම්, නිව්ටන් ගේ ජීවිතයේ කිසි දිනෙක ඔහු ගේ හිස මතට නම් ඇපල් ගෙඩියක්‌ පතිත වී නොමැති බව ය.

තරිදු විජයසූරිය

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු