රසදිය අවදානම



රසදිය ආවර්තිතා වගුවේ අපට හමු වන මූලද්‍රව්‍යයකි. එහි පරමාණුක ක්‍රමාංකය 80 වේ. කරුණු කිහිපයක්‌ නිසා රසදිය සුවිශේෂීත්වයකින් යුත් මූලද්‍රව්‍යයකි. ඉතිහාසයේ විවිධ ශිෂ්ටාචාරවල මිනිසුන් විවිධ ආකාරයට රසදිය යොදාගෙන ඇත. පෙරදිග කලාපයේ වෛද්‍ය ශාස්‌ත්‍රයන්හි "රස වෙදකම" යනුවෙන් හඳුන්වන කොටසක්‌ ඇත. එහි දී රසදිය සංයෝග ප්‍රතිකාර සඳහා ද යොදාගෙන ඇත. 

"ඩී" ගොනුවට අයත් බැර ලෝහයක්‌ වන රසදිය සාමාන්‍ය උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේ ද්‍රවයක්‌ ලෙස පවතින එක ම ලෝහය ලෙස සැලකේ. ඒ හැරුණු කල සාමාන්‍ය උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේ ද්‍රවයක්‌ ලෙස පවතින මූලද්‍රව්‍යය බ්‍රොaමීන් ය. එහෙත් එය අලෝහයකි. සෙල්සියස්‌ අංශක -38.83 දී රසදිය ඝන තත්ත්වයට පත් වන අතර සෙල්සියස්‌ අංශක 357.73 දී වායු තත්ත්වයට පත් වේ. "දිය වුණු රිදී" යන අරුත ඇති Hydragyrum නම් ලතින් ඌරුවක්‌ ඇති ග්‍රීක වචනය නිසා රසදියවලට Hg නම් සංකේතය ලැබී ඇත. සාමාන්‍ය පිළිගැනීමට අනුව රසදිය යනු පොළෝ තලය මත අතිශය දුර්ලභ මූලද්‍රව්‍යයකි. රසදිය පොළොවේ තැන්පත් ව ඇත්තේ "මර්කියුරික්‌ සල්ෆයිඩ්" (HgS) ආකාරයෙනි. චීනය මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම රසදිය නිෂ්පාදකයා වන අතර කිර්ගිස්‌ථානය දෙවැනි තැන උසුලයි. 

සාමාන්‍ය භාවිතයේ දී රසදිය හෝ රසදිය සංයෝග භාවිත කරන අවස්‌ථා කිහිපයකි. උණුවතුර බෝතල්, ෆ්ලොරසන්ට්‌ බල්බවල රසදිය සංයෝග අඩංගු වේ. බටහිර වෛද්‍යවරුන් භාවිත කරන උණකටුවේ සහ රුධිර පීඩන මානයේ ද රසදිය අඩංගු ය. එන්නත් කල් තබා ගැනීමට සහ දිලීර නාශකයක්‌ ලෙස රසදිය සංයෝග යොදා ගත්ත ද ඉන් පරිසරයට සතුනට සහ මිනිසුන්ට ඇති වන අහිතකර බලපෑම නිසා ඒවා භාවිතය දැන් ලෝකයෙන් ඉවත් වෙමින් ඇත. මේ හැරුණු කල තීන්ත, විදුලි උපාංග, රත්රන් නිස්‌සාරණය වැනි කර්මාන්ත සඳහා ද රසදිය භාවිත කර ඇත. එහෙත් රසදියවල උග්‍ර විෂ ස්‌වභාවය නිසා කර්මාන්ත සඳහා රසදිය හෝ රසදිය සංයෝග භාවිතය බොහෝ රටවල් තහනම් කර ඇත. 

සෞඛ්‍ය අවදානම

රසදිය යනු ජීවී සෛලවලට උග්‍ර විෂ සහිත මූලද්‍රව්‍යයකි. රසදියවල සෞඛ්‍ය අවදානම පිළිබඳව බොහෝ දෙනකු ගේ ඇස්‌ ඇරුණේ ජපානයේ ඇති වු මිනමාටා රෝගයත් සමගය. ජපානයේ මිනමාටා නම් වෙරළාශ්‍රිත නගරයක Chisso Corporation නම් රසායන ද්‍රව්‍ය කර්මාන්තශාලාවකින් මිනමාටා බොක්‌කට එකතු වූ කාර්මික අපද්‍රව්‍ය සහිත ජලය නිසා මේ රෝගය හට ගැනිණි. මේ දූෂිත ජලයේ තිබූ මෙතිල්මර්කරි නම් රසදිය අඩංගු සංයෝගය නිසා දහස්‌ ගණනක සත්ත්ව සංහතියක්‌ මරු වැළද ගත්තේ ය. 1956 දී පළමු වරට නිරීක්‍ෂණය කළ මිනමාටා රෝගය නිසා මිනිසුන් 1784 දෙනකු මිය ගිය බව ජපාන රජයේ සංඛ්‍යාලේඛන තහවුරු කරයි. මෙතිල් මර්කරි ශරීරගත වූ මාළු ආහාරයට ගැනීම නිසා මේ තත්ත්වය උදා වූ බව පසුව සනාථ කෙරිණි. මේ සිද්ධිය නිසා මිනමාටා රෝගයෙන් පීඩාවට පත් 10000කට අධික පිරිසකට ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන 9000ක (ඇමෙරිකන් ඩොලර් මිලියන 85ක්‌) වන්දියක්‌ ගෙවීමට අවසානයේ Chisso Corporarion සමාගමට සිදු විය. මිනමාටා රෝගය නිසා දහස්‌ ගණනක ජපනුන් ගේ ස්‌නායු පද්ධතිය දුර්වල විය. අංග විකල දරුවන් දහස්‌ ගණනක්‌ බිහි විය. තවත් වැදගත් කරුණක්‌ වනුයේ Chisso Corporarion හි ප්‍රධාන නිෂ්පාදනය වූයේ රසායනික පොහොර බවයි.

මිනමාටා සිද්ධියත් සමග රසදියවල ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය වසර 20ක පමණ කාලය තුළ ඉතා කුඩා රසදිය ප්‍රමාණයක්‌ ශරීරගත වීමෙන් ඇති වන ලෙඩ රෝග ගණනාවක්‌ පිළිබඳව හෙළිදරව් විය. 

රසදිය නිසා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ඇති වන්නේ ස්‌නායු පද්ධතියට ය. මොළයේ චාලක කටයුතු පාලනය කරන ප්‍රදේශයට සහ මතකයට අදාළ කොටසට රසදිය නිසා ඉහළ බලපෑමක්‌ ඇති කරන බව මේ වන විට සනාථ වී ඇත. කලල අවධියේ සහ ළදරු අවධියේ මේ අවදානම ඉහළ ම බව සොයාගෙන ඇත. රසදිය අඩංගු ආහාර ගන්නා මවක ගෙන් මවුකිරි හරහා මේ බැර ලෝහය කුඩා දරුවන් ගේ සිරුරට ඇතුළු වන බවත් ඒ නිසා පූර්ව ළමා ස්‌නායු විකසනය දුර්වල වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

මර්කරිවල ස්‌නායු විෂ පිළිබඳ තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඩෝපැමින් නම් පණිවිඩ ගෙන යැමට වැදගත් වන රසායනික සංයෝගය නිපැදවීමට සහ එහි ක්‍රියාකාරීත්වයට මර්කරි බාධා පමුණුවන බවයි. ඩෝපැමින්වල ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් නිසා පාකින්සන් රෝගය ඇති වන බව වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. 2002 වසරේ දී කරන ලද පර්යේෂණයකට අනුව ඇල්ෂයිමර් රෝගය ඇති වීමට ද දිගුකාලීන අංශු මාත්‍ර රසදිය විස වීම හේතුවකි. ඇමිනෝ අම්ලවල ඇති ඩයිසල්ෆයිඩ් කාණ්‌ඩයට සහ ප්‍රොaටීනවල සල්ෆයිඩි්‍රල් කාණ්‌ඩයට රසදිය ඉතා පහසුවෙන් බැඳේ. බොහෝ හෝමෝන සහ එන්සයිම ඇමයිනෝ අම්ලවලින් සෑදුණු ප්‍රොaටීන ය. මේ හේතුවෙන් මිනිස්‌ සිරුරේ ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත් වන හෝමෝන සහ එන්සයිම ගණනාවක ක්‍රියාකාරීත්වය රසදිය නිසා ඇණහිටී. විශේෂයෙන් ස්‌නායු පද්ධතියේ දී මේ බලපෑම වඩා ඉහළ බව මේ වන විටත් සනාථ කරගෙන ඇත. 

මේ හැරුණු කල ඇසීමට සහ දැකීමට අදාළ ස්‌නායුවලට සහ ඊට අදාළ මොළයේ ප්‍රදේශවලට රසදිය නිසා බලපෑමක්‌ ඇති වන බව සතුන් යොදාගෙන සිදු කළ පර්යේෂණවලින් හෙළි වී ඇත. ජපානයේ මිනමාටා ප්‍රදේශයේ ඇති වූ රසදිය විෂ වීමෙන් වසර 20කට පමණ පසුත් එහි බලපෑම නිසා ඊට ගොදුරු වූවන් ගේ ඇසීමේ සහ දැකීමේ දුර්වලතා ඇති වූ බව සඳහන් වේ. රසදිය යොදාගත් කර්මාන්තවල සේවයේ නියුතු වූවන් පිරිසක්‌ යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ඔවුන් ගේ මතකය, යමක්‌ දෙස ඇති වන අවධානය සහ සිරුරේ අවයව අතර ඇති සමායෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස්‌ ඇති බවයි.


සිරුරට ඇතුළු වන රසදිය ඒකාරාශී වන ප්‍රධාන අවයවය වකුගඩු ය. 1998 වසරේ දී හුසෙන් ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම සිදු කළ පර්යේෂණයකට අනුව ඒ බව සනාථ කරගෙන ඇත. මර්කියුරික්‌ ක්‌ලෝරයිඩ් යනු උග්‍ර වකුගඩු විෂක්‌ බව වෛද්‍ය විද්‍යා පොත පතවල සඳහන් වේ. වකුගඩු සෛලවලට DNA ආරක්‌ෂාවට වැදගත් වන NF-KB නම් සංයෝගයේ තයෝල් කාණ්‌ඩයට රසදිය බැඳීම නිසා එහි ක්‍රියාකාරීත්වය අඩු වන බවත් ඒ හේතුවෙන් වකුගඩු සෛලවල න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ වී වකුගඩුවල පෙරීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වන බවත් පර්යේෂණාත්මකව පෙන්වා දී ඇත. ඒ හැරුණු විට සෛලවලට හානි පමුණුවන "මුක්‌ත ඛණ්‌ඩක"වලින් සෛල ආරක්‌ෂා කරන යාන්ත්‍රණය බිඳ දැමීම මඟින් ද වකුගඩු සෛල විනාශ වන බව පර්යේෂණාත්මකව තහවුරු වී ඇත.

කාර්මික ක්‍රියාවලි නිසා දූෂණය වූ ජලයේ සිටින මත්ස්‍යයන් අනුභවයෙන් වළකින ලෙස ඇමෙරිකා එක්‌සත් ජනපදය විසින් 1970 දශකයේ දී විශේෂයෙන් එරට තරුණ පරම්පරාවට, අවවාද කරන ලදි. ඊට ප්‍රධාන හේතුව වූයේ එවැනි මාළුන් ගේ සිරුරේ එකතු වන රසදිය මිනිස්‌ සිරුරට ඇතුළු වී වඳභාවය ඇති කරන බව සොයා ගැනීමයි. ඇ. එ. ජනපදයේ කරන ලද පර්යේෂණයකට අනුව වඳභාවය ඇති තරුණියන් ගේ සිරුරේ සැලකිය යුතු ලෙස මෙතිල් මර්කරි අඩංගු බව සොයාගෙන ඇත. අනෙක්‌ අතට මෙතිල් මර්කරි ශරීර පටකවල තැන්පත් වූවන් ගේ ගබ්සා වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ බවත් එවැනි අයට උපදින දරුවන් ගේ ස්‌නායු ආබාධ වැඩි බවත් සනාථ කරගෙන ඇත. ඉතා කුඩා රසදිය ප්‍රමාණයක්‌ වුව දිගු කලක්‌ ශරීරගත වූ පිරිමින් ගේ ශුක්‍රාණුවල ජීවී ස්‌වභාවය 80%කින් පමණ අඩු වන බවත් ඒවායේ චාලක හැකියාව 90%කින් පමණ අඩු වන බවත් තවත් පර්යේෂණයකින් පෙන්වා දී ඇත.



අංශුමාත්‍ර රසදිය නිර්ණය කිරීමේ නවීන උපකරණයක්‌

ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට රසදිය නිසා ඇති වන බලපෑම පිළිබඳව ද විද්‍යාඥයන් පර්යේෂණ පවත්වා ඇත. ස්‌ව ප්‍රතිශක්‌ති ආබාධ (Auto immune diseases) සහ අසාත්මික තත්ත්වයන් ඉස්‌මතු කිරීමට රසදිය මගින් දූෂණය වූ ආහාරපාන හේතු වේ. දද, කුෂ්ඨ වැනි තත්ත්ව උග්‍ර කිරීමටත්, ඇට මිදුළුවල ඇති වන රෝගී තත්ත්වයන් ඉස්‌මතු කිරීමටත් මයික්‍රොග්රෑම් ගණනක රසදියවලට ඇති හැකියාව බටහිර වෛද්‍ය විද්‍යා ලෝකය දැනගෙන දැන් 30 වසරක්‌ පමණ වේ. ඇතැම් රසදිය සංයෝග උග්‍ර පිළිකා ජනක ලෙස නම් කෙරුණේ 1980 දශකයේ දී ය. ජීවි සෛලයක්‌ ගුණනය වන අවස්‌ථාවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය ද දෙගුණ විය යුතු ය. මේ කටයුත්ත නිසි ලෙස සිදු කිරීමට සෛල තුළ තර්කුව නම් සියුම් ව්‍යqහයක්‌ ගොඩනැඟේ. රසදිය නිසා මේ තර්කු තන්තුවල ක්‍රියාකාරීත්වය විකෘත වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගොඩනැඟෙනුයේ ද විකෘති වීම් සහිත දුහිතෘ සෛල ය.

මේ අනුව පැහැදිලි වනුයේ මයික්‍රොග්රෑම් ප්‍රමාණයක්‌ වුව ද ශරීරගත වුවහොත් රසදිය නිසා සෞඛ්‍ය අවදානමක්‌ ඇති වන බවයි. මිනිසුන්ට පමණක්‌ නො ව සතුන්ට සහ ශාකවලට ද එසේ ම ය. රසදිය නිසා දූෂණය වූ පසේ වැඩෙන ශාකවල පවා ජාන විකෘති වීම් ඇති වන බව උද්භිද විද්‍යාඥයන් නිරීක්‍ෂණය කර ඇත.

ආවර්තිතා වගුවේ අපට හමු වන මූලද්‍රව්‍ය අතුරින් රසදිය උග්‍රතම විෂ සහිත මූලද්‍රව්‍යයකි. රසායනික සංයෝගයක්‌ විෂ සහිත වුව ද ඇතැම් විට කල්ගත වීමත් සමග ඒවා වියෝජනයට ලක්‌ වී එහි විෂ සහිත ස්‌වභාවය අඩු විය හැකි ය. එහෙත් ආසනික්‌, රසදිය, කැඩ්මියම්, යුරේනියම් වැනි මූලද්‍රව්‍යවල විෂ සහිත ස්‌වභාවය කෙතරම් කල් ගත වුව ද වෙනස්‌ නො වේ. ඊට හේතුව ඒවා මූලද්‍රව්‍ය වන නිසා පරමාණු මට්‌මමින් ම ඒවා විෂ සහිත වීමයි. මේ නිසා වෛද්‍ය සහ විෂවේදය පිළිබඳ ප්‍රාමාණිකයන් ගේ අදහස වූයේ රසදිය අංශු මාත්‍රයක්‌ වත් නැති ආහාර පාන පරිභෝජනය කිරීම සුදුසු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව පානීය ජලයේ තිබිය හැකි උපරිම රසදිය ප්‍රමාණය ලීටරයකට මයික්‍රොග්රෑම් 1කි. මේ අගයන් ගැන ද නිවැරැදි අවබෝධයක්‌ ලබා ගැනීම වැදගත් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් ආයතනයක්‌ ආහාරයට හෝ පානීය ජලයට මෙවැනි අගයක්‌ පණවන්නේ මනුෂ්‍යයාට නියත අවදානමක්‌ ඇති නො වීමට නම් එම අගයට අඩු මට්‌ටමකින් විෂ ද්‍රව්‍ය තිබිය යුතු හෙයිනි. එහෙත් ඇතැමුන් මෙය

වැරැදියට අර්ථ දක්‌වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇතැම් උගතුන් යෑයි හඳුන්වාගන්නවුන් ආසනික්‌වල පානීය ජලයේ උපරිම සීමාව වන මයික්‍රොග්රෑම් 10 අර්ථ දැක්‌වූයේ බොන වතුරේ ආසනික්‌ මයික්‍රොග්රෑම් 10ක්‌ තිබිය යුතු යෑයි කියන හෝ මයික්‍රෝග්රෑම් 10ක්‌ තිබුණාට කිසිදු ප්‍රශ්නයක්‌ නැතැයි යන ආකාරයෙනි.

විෂ සහිත මූලද්‍රව්‍යයක්‌ ඒ හා බැඳෙන අනෙකුත් සංයෝගයේ ස්‌වභාවය අනුව කාබනික අකාබනික ලෙස හඳුන්වයි. උදාහරණයක්‌ ලෙස ආසනික්‌ සමග ආකාබනික සංයෝගයක්‌ හෝ මූලද්‍රව්‍යයක්‌ බැඳුණු පසු එය අකාබනක ආසනික්‌ ලෙසත්, කාබනික සංයෝගයක්‌ සමග බැඳුණු පසු කාබනික ආසනික්‌ ලෙසත් හඳුන්වයි. එසේ වූ පමණින් මුල් ආසනික්‌වල විෂ සහිත ස්‌වභාවය නැති නො වන අතර පසුව බැඳුණු කොටස අනුව විෂෙහි සාපේක්‌ෂව වෙනසක්‌ සිදු වේ. සාමාන්‍යයෙන් අකාබනික ආසනික්‌ ජීවී සෛලවලට වඩාත් විෂ සහිත ලෙස පිළිගැනේ. එහෙත් ලෙවිසයිට්‌, ක්‌ලාර්ක්‌ 1, ක්‌ලාර්ක්‌ 2 නම්වලින් හඳුන්වන කාබනික ආසනික්‌ සංයෝග මනුෂ්‍ය වර්ගයා නිපදවූ උග්‍රතම විෂ වර්ග ලෙස සැලකේ. ඒවා දෙවැනි ලෝක යුද සමයේ දී රසායනික අවි ලෙස භාවිත විය.

රසදිය සම්බන්ධයෙන් ගත් කල වඩා විෂ සහිත ලෙස සැලකෙන්නේ කාබනික සංයෝග සමග බැඳුණු රසදිය ය. විශේෂයෙන් මෙතිල් කාණ්‌ඩ කෙරෙහි රසදිය විශේෂ ලැදියාවක්‌ දක්‌වන අතර ඉන් ගොඩනැඟෙන මෙතිල් මර්කරි, රසදියවලටත් වඩා උග්‍ර විෂකි. පොළොවට එක්‌ වන රසදිය ශාක මඟින් අවශෝෂණය කරගෙන තැන්පත් වන්නේ මෙතිල් මර්කරි ලෙස ය. ආහාර ඔස්‌සේ සිරුරට ඇතුළු වන මෙතිල් මර්කරි පහසුවෙන් ආහාර ජීර්ණ පද්ධතියෙන් අවශෝෂණය කරගෙන රුධිරයට එක්‌ වේ. මෙතිල් මර්කරි ඉතා හොඳින් ලිපිඩ සංයෝගවල ද්‍රාව්‍ය වේ. මේ ගුණය නිසා රුධිරයේ ඇති මෙතිල් මර්කරි මොළයට සහ ස්‌නායු පද්ධතියට ඇතුළු වී තැන්පත් වේ. සාමාන්‍යයෙන් බැර ලෝහ ජීවී පටක තුළ තැන්පත් වූ පසු ලෙහෙසියෙන් පිට ව නො යයි. බැර ලෝහ අඩංගු මිනිසකු හෝ ජීවියකු මිය ගිය පසු ද අවසානයේ නැවතත් ඒවා එක්‌ වන්නේ ද පස්‌වලට ය. එම පස්‌ ඔස්‌සේ ශාක සහ සතුන්ටත්, පසුව මිනිසුන්ටත් රසදිය ද ඇතුළු බැර ලෝහ නැවත නැවතත් ගමන් කරයි. එනම් වරක්‌ එක්‌ වූ පසු ස්‌වාභාවික චක්‍රයකට පිවිසේ. මූලද්‍රව්‍යයක්‌ විෂක්‌ වූ විටත් එම විෂ කෘත්‍රිම ක්‍රියාකාරකම් නිසා රටකට, විශේෂයෙන් දූපතකට පැමිණීමත් නිසා ඇති වන භයානක ම තත්ත්වය මේ අයුරින් ස්‌වාභාවික චක්‍රයකට එය ඇතුළු වීම ය.

කෘෂිකර්මාන්තය සහ රසදිය

රසදිය අඩංගු කෘෂි යෙදවුම් දෙවැනි ලෝක යුද සමයේ දී හඳුන්වා දෙනු ලැබිණි. කෘමිනාශක සහ විශේෂයෙන් ම දීලීරනාශක ලෙස රසදිය සංයෝග ඉතා ඉහළ සාර්ථකත්වයක්‌ පෙන්නුම් කළේ ය. කෙසේ වෙතත් මිනමාටා සිද්ධියත් සමග රසදියවල ඇති උග්‍ර විෂ ස්‌වභාවය ගැන කරුණු හෙළිදරව් වූ හෙයින් බොහෝ රටවල් රසදිය අඩංගු සංයෝග කෘෂිකර්මාන්තයෙන් ඉවත් කළේ ය. පරිභෝජනයට ගනු ලබන කිසිදු ආහාරයකට සම්බන්ධ වගාවක්‌ සඳහා රසදිය අඩංගු කෘෂිරසායන භාවිතය 1969 දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ තහනම් කෙරිණි. 2009 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ පළිබෝධනාශක වර්ගීකරණයට අනුව රසදිය සංයෝග අයත් වන්නේ අතිශය විෂ සහිත (Extremely hazardous) 1a කාණ්‌ඩයට ය. එම වර්ගීකරණයේ සඳහන් වන පරිදි කලක්‌ පළිබෝධනාශකයක්‌ ලෙස යොදාගත් පීනයිල් මර්කරි ඇසිටේට්‌ නම් සංයෝගය කෘමීන්ට සහ දිලීරවලට මෙන්ම ක්‍ෂීරපායින්ට ද අතිශය උග්‍ර විෂකි. එහි ඉතා ම කුඩා මාත්‍රාවකින් වුව වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකි ය. අපේ රටේ නීතිය අනුව ද පළිබෝධනාශකයක රසදිය අඩංගු විය නොහැකි ය. 1995 වසරේ දී එවැනි තහනමක්‌ හඳුන්වා දුන් අතර 2001 වසරේ දී අති විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ මඟින් එය තවදුරටත් තහවුරු කරන ලදී.

කෙසේ වෙතත් අප රටේ වෙළෙඳ පොළේ අලෙවි වන කෘමිනාශක, දිලීර නාශක සැලකිය යුතු ගණනක විවිධ ප්‍රමාණවලින් රසදිය අඩංගු වන බව මේ වන විට පර්යේෂණාත්මකව සනාථ වී ඇත. රාජ්‍ය ආයතන දෙකකින් කළ පර්යේෂණ අනුව ලංකාවේ පළිබෝධනාශකවල රසදිය 100-10000 µg/kg ප්‍රමාණයට රසදිය අඩංගු බව හෙළි වී ඇති අතර එය පළිබෝධනාශක පරික්‍ෂා කිරීම සඳහා ම අන්තර්ජාතික ප්‍රමිතිය ලැබූ විදේශ පර්යේෂණාගාරයකින් ද සනාථ කර ඇත. මීට අමතරව ලංකාවේ භාවිත වන ඇතැම් රසායනික පොහොරවල ද විවිධ මට්‌ටම්වලින් රසදිය අඩංගු වන බවට සාධක ලැබී ඇත. මේ කුමන ආකාරයෙන් පැමිණිය ද අවසාන වශයෙන් උග්‍ර විෂ සහිත රසදිය එකතු වන්නේ අපේ රටේ පසට ය, ජලයට ය. ක්‍රමයෙන් මේවා ආහාර පාන ඔස්‌සේ අප ගේ සිරුරට ඇතුළු නො වන්නේ ද? ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෑතක දී එළිදැක්‌වූ වාර්තාවකට අනුව ඒකක බිම් ප්‍රමාණයකට යොදන රසායනික පොහොර ප්‍රමාණය අතින් ලංකාව සිටින්නේ ඉහළ ම තැනක ය. ලොව බොහෝ රටවල් ක්‍රමිකව එම ප්‍රමාණය අඩු කර ගනිද්දී ලංකාවේ රසායනික පොහොර භාවිතය පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇත. අද අපේ රටේ ඇතැම් කෘෂිකර්ම නිලධාරීන් ක්‍රියා කරන්නේ ඉතා උඩඟු සහ නොහික්‌මුණු විලාසයෙනි. පළිබෝධනාශක සහ රසායනික පොහොර නිසා ඇති වෙමින් පවතින භයංකර තත්ත්වය වෛද්‍ය විද්‍යානුකූලව පෙන්වා දුන් පසු ඔවුහු නෑසූ කන් ව සිටිති. එපමණක්‌ නො ව එය සාධාරණීකරණයට බොරු ගොතා කියති. (මෑතක දී එක්‌තරා ගුවන් විදුලි වැඩසටහනකට සහභාගි වූ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයකු පැවසුවේ ආසනික්‌ යනු මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්‌ බවයි.) රසදිය සම්බන්ධයෙන් ජාතික වශයෙන් සිදු කෙරෙන මැදිහත්වීමක්‌ ලහි ලහියේ සිදු විය යුතු අතර, එසේ නො වන්නට කෘෂි රසායන මගින් ලක්‌ පොළොවට එකතු වන විෂ ද්‍රව්‍ය නිසා ජාතිය ම අනතුරේ බව නැවතත් අනතුරු ඇඟවිය යුතු ය.

වස විස කියා දෙන - ඒ සැම පැණි රස ලු
රසදිය, ආසනික්‌ - විටමින් වගෙ හොඳ ලු
හොඳ හිත ඇති ව - කියනා දේ සැම බොරු ලු
අනේ අපොයි - සිරිලක දැන් අතුරේ ලු

අද සතියේ විමසුම
වෛද්‍ය චන්න සුදත් ජයසුමන
jayasumanalk@yahoo.com

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

පැපිරස්‌ පත්‍රයේ කථාව