ජෛවපටල (Biofilms) එදිනෙදා ජීවිතයට වැදගත් වන්නේ කෙසේ ද?


ජෛව පටල හෙවත් ඊසදසෙකපි යන සංකල්පය ඉතා පැරැණි මුත් ඒ පිළිබඳ විද්‍යාත්මක අවධානය යොමු වී දැනට වසර 75ක්‌ පමණ ගත වී ඇත. මේ පිළිබඳව සිතීමට හා පර්යේෂණ කිරීමට මිනිසා පෙලඹෙන්නට ඇත්තේ පරිසරයේ විවිධ පෘෂ්ඨවලට ඇලී වර්ධනය වන නා නා විධ ක්‌ෂුද්‍රජීවීන් හා ඔවුන් ගේ සහසම්බන්ධතා වඩා ප්‍රකට වීමත් සමග යෑයි කිව හොත් එය නිවැරැදි ය.

ජෛව පටලයක්‌ යනුවෙන් හැඳින්වෙන්නේ උපස්‌තරයක්‌ නැත හොත් පෘෂ්ඨයක්‌ මත ඇලී හෝ සම්බන්ධ වී වර්ධනය වන ක්‌ෂුද්‍රජීවීන් සමූහයකි. මේ ක්‌ෂුද්‍රජීවීහු ඔවුන් විසින් නිපදවනු ලබන පරිවෘත්තීය ද්‍රව්‍ය මගින් නිමැවුණු පටලයක්‌ තුළ ගිලී ජීවත් වෙති. මෙමඟින් ඔවුන් එකිනෙකා අතර ද බැඳීම් වර්ධනය වී තිබේ. ජෛව පටල ජීවී මෙන්ම අජීවී පෘෂ්ඨ මතුපිට ද දැකිය හැකි ය.

ජෛව පටලවල විද්‍යාත්මක වැදගත්කම

1. තනි සෛල ලෙස පැවතීමට වඩා සමූහ වශයෙන් සංවිධානය ව පැවතීම මඟින් පාරිසරික සාධකවලට මැනැවින් ඔරොත්තු දීමේ හැකියාව ක්‌ෂුද්‍ර ජීවීන්ට ලැබේ. හිරු එළිය, තාපය, වියළීම, සේදී යැම වැනි බලපෑම්වලින් ආරක්‌ෂා වීමට මේ අනුව පහසුව ලැබේ.

2. සෛල මඟින් ම නිපැදෙන බාහිර සෛලීය ද්‍රව්‍ය නිසා ජෛව පටලයක්‌ ලෙස බැඳී පවතින අතර එය සෛල අතර සම්බන්ධතාව ගොඩනඟයි. ඉහත සඳහන් පරිසර සාධකවලින් ද ආරක්‌ෂා වීමට උපකාර වේ.

3. ජෛව පටල තුළ විවිධ විශේෂ හා වර්ගවලට අයත් ක්‌ෂුද්‍ර ජීවීන්ට පැවතිය හැකි බැවින් සහජීවනය හා සහභෝජිත්වයට පහසුකම් සැලසේ.

4. ප්‍රතිජීවක හා පිරිසිදුකාරකවල බලපෑමෙන් ආරක්‌ෂා වීමට ඉඩ සැලසේ.

5. තනි ක්‌ෂුද්‍රජීවී සෛල මෙන් නො ව ළං ළං ව පිහිටි සෛල සමූහ ලෙස පැවතීමෙන් ජානමය හා භෞතික වෙනස්‌කම් සිදු කර ගැනීම මඟින් ක්‌ෂුද්‍රජීවීන් ගේ ප්‍රචණ්‌ඩත්වය වර්ධනය කරගත හැකි ය.

6. ප්‍රමාණයෙන් වැඩි වූ කල ජෛව පටල මුල් ව්‍යqහයෙන් බිඳී ගොස්‌ වෙනත් විවිධ ශාරීරික ස්‌ථානවල රෝග තත්ත්වයන් ඇති කරයි.

7. උක්‌ත කරුණු හේතුවෙන් අද බොහෝ ජෛව පටල ඇසුරෙන් ඇති වන රෝගී තත්ත්වයන් පාලනය කිරීම තරමක්‌ අපහසු කර්තව්‍යයක්‌ වී ඇත.

ජෛව පටලයක්‌ තුළ ක්‍රියාකාරීත්වය කුමක්‌ ද?

ජෛව පටලයක ව්‍යqහය ජනාකීර්ණ හා කලබලකාරී සංකීර්ණ නගරයක සැලැස්‌මකට සම කළ හැකි ය. නගරයක්‌ ගත් කල එහි විවිධාකාර ජනතාව ජීවත් වෙති. ඔවුහු විවිධාකාර නිවාස, නිවාස සංකීර්ණ හා පැල්පත් ලෙස සකස්‌ කළ ස්‌ථානවල වාසය කරති. එසේ ම නා නා විධ ක්‌ෂුද්‍ර ජීවීහු ඔවුනට ආවේනික සමූහ වශයෙන් ජෛවපටලයක්‌ තුළ සංවිධානය වී වාසය කරති. ජෛව පටලයේ ක්‌ෂුද්‍රජීවීන් විසින් එහි ඉඩකඩ පුරවා ලනු පිණිස බාහිර සෛලීය ද්‍රව්‍ය නිපදවනු ලැබේ. එමඟින් ජෛව පටලයේ ව්‍යqහය සංකීර්ණ මෙන්ම වඩා ශක්‌තිමත් බවට ද පත් කරනු ලබයි.

නගරයේ ජනතාව එකිනෙකා හා අදහස්‌ හුවමාරු කර ගන්නේ දුරකථන, ලිපි, කෙටි පණිවිඩ ආදියෙනි. එමෙන් ම ජෛව පටල ක්‌ෂුද්‍ර ජීවීන්ට ද එකිනෙකා අතර විවිධ පණිවිඩ හුවමාරු කරගැනීමට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියා ගොඩනැඟී ඇත. මේ අවස්‌ථාව Quorum Sensing යනුවෙන් ද නූතනයේ හැඳින්වේ. නගරය තුළ ආහාර, ජලය සැපයීම මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමට ද අවශ්‍ය විධිවිධාන මනාව පැවතිය යුතු ය. එපරිද්දෙන් ජෛව පටල තුළ ද ආහාර හා අපද්‍රව්‍ය ගෙන යැම පිණිස මාර්ග පද්ධති නිමැවී තිබේ. ඇතැම් විට ඒවා ජල මාර්ග ලෙස හඳුන්වනු ලැබේ. විවිධ වර්ධක අවස්‌ථාවලට අයත් ක්‌ෂුද්‍රජීවීන් ජෛව පටලය තුළ සිටින අතර මිය ගිය සෛල ද පැවතිය හැකි ය. මෙය තුළ ඔක්‌සිජන් හා ආම්ලික භාවය යන රසායනික සාධක ද ක්‍රමානුකූලව යාමනය කිරීමේ හැකියාව ඇති වී තිබේ. ඒ අතර වර්ධනය වූ ජෛව පටලයකට ත්‍රිමානීය පිහිටුමක්‌ හිමි ව ඇත. කුඩා ජන සමූහයක්‌ බාහිර බලවේගයක්‌ මගින් පහසුවෙන් යටත් කර ගත හැකි වුව ද විශාල නගරයක්‌ එසේ මෙල්ල කළ නොහැකි ය. එසේ ම ක්‌ෂුද්‍ර ජීවීන් එකිනෙකා තනි ව පවතින අවස්‌ථාවක්‌ මෙන් නො ව ජෛව පටලයක්‌ සේ සංවිධානය වී පවතින විට බාහිර උපක්‍රමවලින් එම ක්‌ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම හෝ පාලනය හෝ අතිශය උගහට ය. මේ නිසා ම ජෛව පටල හා සබැඳි රෝගී තත්ත්වයන් මෙන්ම විවිධ සංසිද්ධීන් පාලනය කිරීම හෝ මෙල්ල කිරීම අපහසු කාර්යාවලියක්‌ වන්නේ ය.

ජෛව පටල අප වාසය කරන පරිසරයේ ඕනෑ තරම් දැකිය හැකි ය. උදාහරණයක්‌ වශයෙන් කිහිපයක්‌ සඳහන් කළ හැකි ය.

1. ජලාශ ආශ්‍රිත ගල් පර, ලී කොට ආදිය මතුපිට බැඳී වර්ධනය වී ඇති සෙවල වැනි පටලමය ද්‍රව්‍ය.

2. ජෙලටීනමය පටල ජලය හෝ අපද්‍රව්‍ය ගලා යන කාණු පද්ධති තුළ දී දැකිය හැකි ය. එසේ නැතිනම් ඔබ නාන කාමරය නිසි පරිදි පිරිසිදු නො කළ හොත් එහි සිමෙන්නි පොළොව ලිස්‌සනසුලු බවට පත් වන්නේ ද ඒ මත ජෛව පටල වර්ධනය වීම ආරම්භ වී ඇති නිසා ය. මෙවැනි ජෛව පටල ජලය බැස යන කාණු පද්ධති අවහිර කරනු ඇත.

3. ජල නළවල වර්ධනය වන ඇතැම් ජෛව පටල හේතුවෙන් ඇති වන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එම නළ පද්ධතීන් දිරා යැම හා මළ බැඳීම වේගවත් කළ හැකි ය.

4. බෝට්‌ටු හා නැව් බඳවල ජලය හා ගැටෙන මතුපිට පෘෂ්ඨවල ද ජෛව පටල වර්ධනය වන අයුරු දැකිය හැකි ය. තදින් වැඩී ඇති එවැනි ජෛව පටල ජලය මතුපිට ප්‍රතිරෝධය ඇති කර එම යාත්‍රාවල වේගය අඩු කළ හැකි ය.

5. ඇතැම් ශාක කොටස්‌ (පත්‍ර, මූල පද්ධති) ආදියේ වර්ධනය වන ජෛව පටල හේතුවෙන් එම ශාකවලට නයිට්‍රජන් වැනි අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා ගැනීමේ වාසිය උදා වී ඇත.

6. දත් මැලියම් (Dental plaque) ජෛව පටලයකට කදිම උදාහරණයක්‌ ලෙස දැක්‌විය හැකි ය. අප නිසි පරිදි මුඛය පිරිසිදු නො කළ හොත් මුඛයේ සිටින මිලියන ගණනක්‌ ක්‌ෂුද්‍ර ජීවීන් ජෛව පටල දත් මත ඇති කරනු ඇත. එමඟින් දත් දිරා යැම, පරිදන්ත රෝග වැනි මුඛ සෞඛ්‍යයට අහිතකර රෝගී තත්ත්වයන් උද්ගත විය හැකි ය. ස්‌වාභාවික දත් මත පමණක්‌ නො ව ප්‍රතිකාර වශයෙන් භාවිත කරන කෘත්‍රිම දත් කුට්‌ටම්, විකලාංග දන්ත උපකරණ ආදියෙහි පෘෂ්ඨ මතුපිට ද දන්ත මැලියම් හෙවත් ජෛව පටල ගොඩනැඟිය හැකි ය. මේ හේතුවෙන් විවිධ මුඛ රෝග හටගත හැකි ය.

7. එපමණක්‌ නො ව අප ශරීරයට සම්බන්ධ කරනු ලබන විවිධ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා උපකරණවල තිබෙන ලෝහ, ප්ලාස්‌ටික්‌ හා වීදුරු වැනි පෘෂ්ඨ මත ද ක්‌ෂුද්‍ර ජීවී ජෛව පටල ගොඩනැඟිය හැකි ය. උදාහරණ වශයෙන්. අක්‌ෂි සිවි කාච, රුධිර කැනියුලා, මුත්‍රා කැතීටර්, දැඩි සත්කාර ඒකකවල පවතින විවිධ නළ පද්ධති සහිත උපකරණ, කෘත්‍රිම හෘද කපාට, කෘත්‍රිම සන්ධි ආදිය ගෙන හැර දැක්‌විය හැකි ය.

වර්තමාන සමාජයේ දක්‌නට ලැබෙන ආසාදනවලින් 60% ක්‌ පමණ ඇති වීමට ජෛව පටලවල ක්‍රියාකාරීත්වය මුල් වී ඇත. විශේෂයෙන් ම අප ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නො වන අවස්‌ථාවල දී ජෛව පටලවල රැඳී සිටින ක්‌ෂුද්‍රජීවීන් ව්‍යාධිකාරකයන් ලෙස ක්‍රියා කළ හැකි ය.

ජෛව පටල ඇසුරෙන් හටගන්නා ආසාදන සාමාන්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිරෝධය දක්‌වන අතර නැවත නැවත හටගන්නා ස්‌වභාවයක්‌ ද දක්‌නට ඇත. එයට හේතුව සමූහ වශයෙන් ජෛව පටලවල රැඳී සිටින ක්‌ෂුද්‍ර ජීවීන් විවිධ පාරිසරික වෙනස්‌ වීම්වලට සහ ප්‍රතිජීවකවලට විනාශ නො වීම පිණිස අවශ්‍ය වන සාධක වර්ධනය කර ගැනීමේ ඇති අති දක්‌ෂ භාවයයි. තනි ව සිටින ක්‌ෂුද්‍රජීවීන් විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිජීවක ප්‍රමාණය මෙන් 1000 ගුණයක්‌ ජෛව පටලයක්‌ විනාශ කිරීම සඳහා අවශ්‍ය වේ. මේ සියල්ලට ම වඩා වැදගත් වන අප ගේ ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ තිබෙන භක්‌ෂක සෛලවලට ජෛව පටල ගිල දැමීම අපහසු ය. එමඟින් ද ශාරීරික ප්‍රතිරෝධයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව ජෛව පටල සතු ය.

මේ අනුව වර්තමාන සෞඛ්‍ය ක්‌ෂේත්‍රය මුහුණ දී තිබෙන ගැටලු අතර ප්‍රධාන තැනක්‌ ගන්නා කරුණක්‌ ලෙස ජෛව පටල ආශ්‍රිත ආසාදන දැක්‌විය හැකි ය. ජෛව පටල නිසා හටගන්නා ආසාදන මැඩීම සඳහා මිල අධික ප්‍රතිජීවක භාවිත වන අතර රෝගීන්ට වැඩි කලක්‌ හා වරින් වර රෝහල්ගත වීමට ද සිදු විය හැකි ය. කෘත්‍රිම උපාංගවල පිහිටෙන් ජීවත් වන අතර තම ප්‍රතිශක්‌ති පද්ධතිය දුර්වල වූ ජනගහනය ඉහළ යැමත් සමග ජෛව පටල ආසාදනවල වැදගත්කම ද වැඩි වී තිබේ.

ජෛව පටලවල තර්ජනයෙන් මිදීමට නම්

1. ප්‍රතිකාර හේතුවෙන් අප ශරීරයට ලබා ගන්නා කෘත්‍රිම උපාංගවල පිරිසිදුකම රැකීම, ඒවා නිසි පරිදි නඩත්තු කිරීම හෝ අවශ්‍ය පරිදි පරීක්‌ෂා කරවා ගැනීම වැදගත් ය. උදාහරණ ලෙස කෘත්‍රිම දත් කුට්‌ටම්, අක්‌ෂි සිවි කාච ආදිය නිසි පරිදි පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් ය.

2. පෞද්ගලික සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම, ශාරීරික පිරිසිදු බව පවත්වා ගැනීම මෙන්ම නිසි පරිදි සමබර ආහාර වේලක්‌ ගෙන එදිනෙදා ප්‍රතිශක්‌තිය මනාව පවත්වා ගැනීම ද අතිශය වැදගත් වේ.

3. ප්‍රතිජීවක ඖෂධ වගකීමෙන් යුතු ව පාවිච්චිය. මේ සඳහා නිසි වෛද්‍ය උපදෙස්‌ අනුව නියමිත මාත්‍රාවෙන් අවශ්‍ය කාල පරාසයක්‌ සඳහා ඖෂධ පාවිච්චි කළ යුතු වේ. අඩු මාත්‍රාවලින් ක්‌ෂුද්‍රජීවීන් පාලනය නො වන අතර ඔවුන් ගේ ප්‍රචණ්‌ඩතාව වෙනස්‌ වීම මඟින් ආසාදන පාලනය අපහසු විය හැකි ය.

4. ජෛව පටල ගොඩනැඟිය හැකි පෘෂ්ඨ පිළිබඳ අවබෝධයෙන් සිටීම හා ඒවා පිරිසිදු කිරීම ද වැදගත් ය.

5. කෘත්‍රිම ශරීර උපාංගවල පෘෂ්ඨ නිසි පරිදි සකස්‌ කිරීම, එම පෘෂ්ඨ මත ප්‍රතිජීවක ආලේපනය, ක්‌ෂුද්‍ර ජීවීන්ට සම්බන්ධ නො විය හැකි පරිදි මතුපිට සකස්‌ කිරීම ආදී උපක්‍රම ද පර්යේෂණ මට්‌ටමින් අත්හදා බලමින් තිබේ.

6. එවැනි කෘත්‍රිම උපාංග පාවිච්චියේ දී ආසාදන පාලනය හා පිරිසිදු බව

රැකීම ද ඉතා වැදගත් ය. මේ සඳහා ඉවත දැමිය හැකි උපාංග භාවිතය ද වැදගත් ය. උදාහරණ ලෙස කැනියුලා හා කැතීටර් ආදිය දැක්‌විය හැකි ය.

පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ මුඛ වෛද්‍ය හා
පරිදන්ත අංශයේ අංශාධිපති
ආචාර්ය ඡේ. ඒ. එම්. එස්‌. ජයතිලක 

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

පැපිරස්‌ පත්‍රයේ කථාව