පැවැත්ම, ඉන්ද්‍රිය හා විඤ්ඤාණ
වස්‌තුවක පැවැත්ම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? පුටු, මේස, ඉර හඳ, තාරකා ආදිය මෙන් ම මිනිසුන් ද වෙනත් සතුන් ද පවතින්නේ යෑයි අපි කියමු. ඒ අතර ඇතැම්හු දෙවියන් නැතැයි කියති. තවත් සමහරුන්ට අනුව ගුරුත්වාකර්ෂණ බලයක් ඇත. මෙහි දී අප යමක් ඇතැයි හෝ නැතැයි හෝ කීමට යොදා ගන්නා නිර්ණායකයක් වේ ද? අප පුටු මේස ආදිය ඇතැයි යනුවෙන් ගන්නේ එවැනි අවස්‌ථාවල ඒ වස්‌තු පංෙච්න්ද්‍රියන් ගෙන් ඉන්ද්‍රිය එකකට හෝ ගෝචර වන බැවින් යෑයි උපකල්පනය කරමු. ඒ සමඟ මනසට ද ඒ ගෝචර වෙයි. එසේ නො වුව හොත් අපට පුටුවක් යනුවෙන් වස්‌තුවක් ඇතැයි කීමට නො හැකි ය. කැමරාවකට පුටුව හසු වන නමුදු කැමරාවට දැනෙන ලෙස පවතින පුටුවක් නැත. එයට හේතුව පුටුවට මනසක් නොමැති වීම ය. අපට එලෙසම ඈතින් ගසක් දැකිය හැකි ය. අපි ගස පවතින්නේ යෑයි කියමු. එහෙත් අපට මිරිඟුව ගැන කිව හැක්‌කේ කුමක් ද? මිරිඟුව පවතින්නේ ද? මිරිඟුව අපට පෙනෙයි. එමෙන් ම එය මනසට ද දැනෙයි. කෙටියෙන් කිව හොත් අපට මිරිඟුව පිළිබඳ චක්‌ඛු විඤ්ඤාණයක් වෙයි. එහෙත් අපි මිරිඟුව නො පවතින්නේ යෑයි කියමු. අප ඈතින් දකින ගස ඇතැයි කියන්නේත්, පවතින බව කියන්නේත්, ඈතින් දකින මිරිඟුව නො පවතින්නේ යෑයි කියන්නේ...