පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

මනසට සුවය
පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2
පරමාදර්ශී චරිතයක්‌ ආදර්ශයට ගැනීම
a huge hand holding a small asian woman Stock Photo - 4054755
පෞරුෂ වර්ධනයට අත්‍යවශ්‍ය මූලික ම දෙයක්‌ වන්නේ සිත දමනයයි. මනා පෞරුෂයක්‌ සහිත සැම කෙනකු ම සිත දමනයට සමත් වූ අය ය. තම සිත පාලනයට නොහැකි කෙනකුට අන්‍යයන් පාලනය කිරීම අසීරු ය. ඔබේ චර්යාවලට උපදෙස්‌ දෙන්නේ සිතයි. ඔබේ පෞරුෂයේ කැඩපත වන්නේ ඔබේ චර්යායි. එනිසා සිත හොඳ මට්‌ටමකට ගෙන එන්න. ඔබටත් සමාජයටත් ඵලදායි දේ පමණක්‌ කිරීමට හැකි වන සේ සිත හදා ගන්න. සමාජයට බොරු මුහුණක්‌ දමාගෙන බොරු වැදගතකු වීමට වඩා වටින්නේ සැබැවින් ම සිත දමනය කර ගැනීම ය. සිත දමනය පිණිස ඔබට මේ දේවල් කළ හැකි ය.

සග භාවනාව.

සසග ආගම දහමට වැඩිපුර යොමු වීම.

සසසග යහපත් මිතුරු ඇසුර.

සඩග යහපත් උපදේශන සේවා වෙත යොමු වීම.

දමනය කරගත් සිතට හොඳ චර්යා උගැන්වීම පහසු ය. සිත දමනය කරගත් වහා ම ඔබ ගේ පෞරුෂයෙහි ධන පැත්තට විශාල එකතු වීමක්‌ ඉබේ ම ලැබෙයි. සිත දමනය කරගත් කෙනා පාපයන්ට ගොදුරු වන්නේ කලාතුරකිනි. බොරු කීම, සොරකම් කිරීම, රණ්‌ඩුසරුවල්වලට යැම ආදී දෙයට නිතර සම්බන්ධ වන කෙනාට උසස්‌ පෞරුෂයක්‌ ගොඩනඟා ගැනීම අසීරු ය. එහෙත් දමනය කළ සිතට මේ ප්‍රශ්න නැත.

පරමාදර්ශී චරිතයක්‌ ගුරු කර ගැනීම

ඔබටත් පරම ආදර්ශී චරිතයක්‌ හෙවත් Role model එකක්‌ ගුරු කර ගන්නට හැකි නම් එය කදිමය.

ලොව දිනූ හපනුන් බොහොමයක ගේ ආදර්ශ චරිත වී ඇත්තේ තම මව හෝ පියා ය. එසේ නොමැති ව පරමාදර්ශී චරිතය පාසලේ ගුරුවරයකු, රටේ ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ වෙනත් ඕනෑ ම කෙනකු විය හැකි ය. දක්‌ෂ දේශපාලනඥයකු, කථිකයකු, නළුවකු, නිළියක ගායකයකු, ගායිකාවක ඔබේ Role model එක විය හැකි ය. කුඩා කාලයේ දී ඔබ අම්මා ගේ සාරි ඇඳගෙන ගුරුවරියක ගේ හෝ වෛද්‍යවරියකගේ චරිත රඟපෑ ආකාරය මතක ඇති නේ ද? ඒ ඔබ ගේ සිතෙහි පැවති Role model එකකි. කෙසේ වෙතත් කාලානුරූපව මේ පරමාදර්ශී චරිත වෙනස්‌ වේ. හැම විට ම ප්‍රබල- එමෙන් ම වටිනා පරමාදර්ශී චරිතයක්‌ ඔබ ඉදිරියේ තබා ගැනීමෙන් පෞරුෂ වර්ධනය ඉහළ තත්ත්වයකින් සිදු කර ගත හැකි වේ.

හොඳ මිනිසුන්, දක්‌ෂයන්, නායකයන් බිහි වීමට මෙන්ම කුරිරු පාලකයන්, දුෂ්ටයන් ඝාතකයන් බිහි වීමට ද පරමාදර්ශී චරිත බලපායි. එනම් නරක අංශයෙන් ප්‍රබල පුද්ගලයන් ද Role models කරගන්නා අය සිටිති. නිදසුනක්‌ දැක්‌වුව හොත් ජන ඝාතක හිට්‌ලර්, දිවි නසාගැනීම්වලට ජනතාව පෙලඹවූ සොකො අසහාරා, ප්‍රභාකරන් වැනි දුෂ්ටයන් ද, Role models අතර වෙති. ඔබ ගේ පරමාදර්ශී චරිතය ප්‍රබල පුද්ගලයකු මෙන්ම ගුණගරුක අයකු ද විය යුතු ය. එසේ නො වුණ හොත් ඔබේ ජීවිතය ද ෙ€දවාචකයකින් කෙළවර වීමට ඉඩ තිබේ.

ඔබ පාසල් වියේ දරුවකු නම් පරමාදර්ශී චරිතයකින් පෞරුෂය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ ඔබට බහුල ය. ඔබට පාඩම්වල දී හදාරන්නට ලැබෙන විවිධ පුද්ගලයන්, මෙන්ම පුස්‌තකාලයේ දී කියවන්නට ලැබෙන චරිත කතාවල ඇතුළත් පුද්ගලයන් ද Role models ලෙස භාවිත කළ හැකි ය. ආතර් සී. ක්‌ලාක්‌ ගේ ජීවිත කතාව කියවා විද්‍යාව හදාරන්නට යොමු වූ පුද්ගලයන් මෙන්ම අදිකාරම් තුමා ගේ චරිත කතාව කියවා දුම්පානය අත් හළ පුද්ගලයන් ද මට හමු වී ඇත. මේවා එතරම් වැදගත් නැති දේවල් යෑයි ඇතැම් විට ඔබට හැඟී යන්නට ඉඩ තිබේ. එහෙත් පුද්ගලයකු ගේ පෞරුෂය වර්ධනය වන්නේ මෙවැනි කුඩා වැඩ (Traits) එක්‌ වීමෙනි. ඔබ පොත් කියවන විට පෙළ පොත්වලට අමතරව යහපත් පුද්ගලයන් ගේ චරිත කතා ද කියවන්න. රට ජාතිය වෙනුවෙන් දිවි කැප කළ, කැප්පෙටිපොළ වීරයා, පුරන් අප්පු වැනි අය ගැන මෙන්ම අනගාරික ධර්මපාල, අදිකාරම් තුමා වැනි අය ගැන ද කියවන්න එසේ ම වර්තමාන ලෝකයේ ආගමික, විද්‍යා හා තාක්‌ෂණ, ආර්ථික, දේශපාලන ආදි ක්‌ෂේත්‍රවල වීරයන් ගැන ද කියවන්න.

Role model හඳුනා ගැනීම හා ඒ හරහා ජීවිතයට යමක්‌ එක්‌ කර ගැනීම යනු එකක්‌ නො ව දෙකකි. පරමාදර්ශී චරිතයක්‌ හඳුනා ගැනීම අවශ්‍ය බව ඇත්ත ය. එක්‌කෝ ඔබට ඔබේ පියා පරමාදර්ශී චරිතයක්‌ ලෙස හඳුනාගෙන ඔහු ගේ ජීවිතයේ සුදුසු දේ අනුගමනය කරන්නට පුළුවන. නැතිනම් ඔබ ගේ ගුරුවරයකු අනුගමනය කරන්නට පුළුවන. එහෙත් අපේ තාත්තා වගේ කෙනකු වනවා යෑයි කිය කියා සිටීම පමණක්‌ ප්‍රමාණවත් නැත. Role model එකක්‌ හරහා ජීවිතය ජය ගැනීම Role model එකක්‌ හඳුනා ගන්නවා තරම් පහසු නැත. අප සරසවියේ ඉගෙන ගන්නා කාලයේ එහි අංශයක අධිපති ධූරය හෙබවූ මහාචාර්ය ගාමිණී දෑලබණ්‌ඩාර නම් මහත්මයා ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක්‌ විය. ඔහු ඡේසුස්‌ වහන්සේ මෙන් රැවුල වවා තිබූ අතර කොණ්‌ඩය ද දිගට වවා සිටියේ ය. එකල ඔහු අපට Role model එකක්‌ විය. ඔහු ගේ පෞරුෂය අප වශී කරනසුලු විය. ඔහු අප වශී කළේ සිය දැවැන්ත සිරුරෙන් පමණක්‌ නො වේ. තම මතවාද ගෙනහැර පාමින් ඔහු අප ආලෝලනය කළේ ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ නාගඩම් පිළිබඳ මතය ප්‍රතික්‌ෂේප කළ දෑලබණ්‌ඩාර පඬිවරයා නව මතවාදයක්‌ ගෙනහැර පෑවේ ය. ඔහු මේ දේවල් දේශනා ශාලාවේ මහා හඬින් කෑ ගසමින් කියද්දී මට හිතුණේ ඡේසුස්‌වහන්සේ කන්ද උඩ දේශනාව පවත්වන්නට ඇත්තේ ද මෙලෙස කියා ය.

අපි (එවකට ශිෂ්‍යයන් වූ) කීප දෙනෙක්‌ දෑලබණ්‌ඩාර පඬිවරයා මෙන් කොණ්‌ඩය හා

රැවුල වවන්නට වීමු. එහෙත් දෑලබණ්‌ඩාරයන් සේ අලුත් යමක්‌ ලොවට දෙන්නට අපි අසමත් වීමු. දෑලබණ්‌ඩාරයන් හා සමකක්‌ෂගත වීමේ නො දැමුණු ආසාවෙන් යුක්‌තව අපි එසේ කළෙමු. එහෙත් පසුව අපට වැටහී ගියේ ඔහු ගේ දැනුම ගඟුලෙන් අංශු මාත්‍රයක ප්‍රයෝජනයක්‌ ගන්නට අපට නොහැකි වූ බවයි. මන්ද යත් අප ගේ සිත යොමු ව තිබුණේ ඔහු ගේ බාහිර රූපාකාරය ගැන පමණක්‌ වූ හෙයිනි. එනිසා ඔබ වටගා ගත යුතු දේ නම් පරමාදර්ශී චරිතය වෙතින් ලබාගත යුත්තේ බාහිර රූපාකාරයට අදාළ දේ පමණක්‌ නො වන බවයි.

පෞරුෂය වර්ධනයට උදව් වන වෙනත් දේ

* ඇබ්බැහිවීම්වලින් මිදෙන්න. (මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි පමණක්‌ නො ව අන්තර්ජාල ඇබ්බැහිය වැනි දේට ද හසු වන්න එපා. හසු ව ඇත්නම් මිදෙන්න)

* අනවශ්‍ය ලෙස කෝප වීමෙන් වළකින්න. කෝපය පාලනය කරන්න.

* කාරුණික වන්න.

* අන් අයට සවන් දෙන්න.

* අඩුවෙන් කතා කරන්න. වැඩියෙන් සවන් දෙන්න.

* අනුන් ගේ වැරැදි කතා කරන්නට යැමෙන් වළකින්න.

* හැකිතාක්‌ සාධු ධර්මතා වර්ධනය කරගන්න. ඔබ කුමන හෝ ආගමක්‌ අදහන්නේ නම් එම ආගමට එකඟ ව ජීවත් වන්නට හැකිතාක්‌ උත්සාහ ගන්න.

* විවේකය ගත කිරීමට යහපත් ක්‍රමවේද තෝරාගන්න.

* තමන් ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

මනෝජ් රත්නායක

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය