මොළයෙන් ස්‌වායත්ත වූ පඬියෝ


මෙරට සිටින පඬියන් අමතක කරන කරුණ නම් තමන් ඉගෙන ගෙන ඇත්තේ මූලික වශයෙන් ම බටහිර සංකල්ප හා ප්‍රවාද බවත් ඒ අප මත බලෙන් පටවා ඇති බවත් එහි දැනුම් ආධිපත්‍යයක්‌ ඇති බවත් බෞද්ධ යෑයි කියන පාසල්වල ඉගැන්වූ අයටත් ඉගෙන ගත් අයටත් ඒ ආධිපත්‍යයෙන් මිදීමට නොහැකි වූ බවත් මේ ආධිපත්‍යය බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙහි ම එක්‌ කොටසක්‌ පමණක්‌ බවත් ය. ඊනියා අධිරාජ්‍ය විරෝධීහු ද බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදයෙහි එක්‌ සංරචකයක්‌ වූ සංස්‌කෘතික යටත්විජිතවාදයටත් එහි කොටසක්‌ වූ දැනුම් ආධිපත්‍යයටත් යට වෙති. එයට එක්‌ හේතුවක්‌ වනුයේ එවැනි බොහෝ දෙනා තම ඊනියා අධිරාජ්‍ය විරෝධීභාවය ලබාගන්නේ බටහිර දැනුමෙන් වීම ය. තවත් හේතුවක්‌ නම් බටහිරයන් තම දැනුම විශේෂයෙන් ම බටහිර විද්‍යාව ලෙස හැඳින්වෙන දැනුම ඊනියා වාස්‌තවික දැනුම යෑයි අපට කීම ය.

අප අභියෝග කරන්නේ මේ ඊනියා වාස්‌තවික යෑයි කියන දැනුමට ය. අප කියා සිටින්නේ ඊනියා වාස්‌තවිකයක්‌, යථාර්ථයක්‌, නිරීක්‍ෂකයාගෙන් තොර දැනුමක්‌ නොමැති බවත් සියලු දැනුම් පද්ධතීන් ඒ ඒ සංස්‌කෘතියෙහි නිරීක්‍ෂකයන් විසින් මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව හා සංස්‌කෘතියට සාපේක්‍ෂව නිර්මාණය (සංස්‌කරණය) කෙරෙන බවත් ය. බටහිරයන් ගේ ඊනියා විද්‍යාත්මක දැනුම පමණක්‌ ඊනියා වාස්‌තවිකයක්‌ වීමට ඔවුන් සතු මහෞෂධය කුමක්‌ ද? ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය ද? එවැනි විද්‍යාත්මක ක්‍රමයක්‌ නැති බව ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකි අතර මේ ලිපි පෙළෙහි ද එසේ නොමැත්තේ ඇයි දැයි පෙන්වා දී ඇත.

අප බටහිරයන් ගේ මත ප්‍රවාද සංකල්ප ප්‍රතික්‍ෂේප කරන්නේ ඒවා හුදෙක්‌ බටහිරයන් ගේ වීම නිසා නො වේ. බටහිරයන් වාස්‌තවික යෑයි කියන දැනුමේ ඊනියා වාස්‌තවික බව අපි ප්‍රතික්‍ෂේප කරමු. ඊනියා වාස්‌තවිකත්වයක්‌ ගැන කියමින් තම සාපේක්‍ෂ මතවාද, ප්‍රවාද හා සංකල්ප සංස්‌කෘතික යටත්විජිතවාදයේ කොටසක්‌ ලෙස අප මත බලෙන් පැටවීම අපි තරයේ හෙළා දකිමු. එයට විරුද්ධව ක්‍රියාත්මක වෙමු. අවුරුදු විසි පහකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ ඒ බව පැහැදිලිව කියා තිබියදීත් තවමත් ඇතැමුන් සිතන්නේ අප බටහිර මතවාද ප්‍රවාද සංකල්ප ආදිය ඒවා හුදෙක්‌ බටහිරයන් ගේ මතවාද නිසා ප්‍රතික්‍ෂේප කරන බව ය.

තර්කයකට තර්කයකින් පිළිතුරු දීමට නොහැකි පුස්‌සන් හා පඬියන් අප බටහිරයන් ගේ යෑයි කියමින් ඔවුන් ගේ මතවාද, ප්‍රවාද හා සංකල්ප ප්‍රතික්‍ෂේප කරන්නේ යෑයි පැවසීම අප එසේ කරන්නේ යෑයි ඉඟි කිරීම මුළුමනින් ම තම බංකොලොත් බව වසා ගැනීමට කරන උත්සාහයක්‌ පමණකි. මේ උත්සාහය ඉතා වංක සිsතින් කරන්නක්‌ වන අතර අප මෙතෙක්‌ දැනුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති, සංස්‌කරණය කර ඇති දැනුම අවතක්‌සේරු කිරීමට ද ගන්නා පියවරක්‌ වෙයි. එහෙත් මේ පුස්‌සෝ තමන්ගේ හිස්‌ බව හා යටත්විජිතවාදී ගැතිකම තම ඊනියා කරුණු ඉදිරිපත් කිරීම්වලින් පෙන්වා දෙති.

බර්ට්‍රන්ඩ් රසල් නම් බටහිර දාර්ශනිකයාට අනුව නීලගුණය නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නකි. මෙහි දී නීලගුණය යනු එක්‌ වර්ණයක ගුණයක්‌ පමණක්‌ බවත් අනෙක්‌ වර්ණවලටත් එය වලංගු බවත් රසල් පඬිවරයාවත් වෙනත් අයෙකුවත් අමුතුවෙන් කිව යුතු නො වේ. අප පෙන්වීමට උත්සාහ කෙළේ ඊනියා නීලගුණය යන්න නිරීක්‍ෂකයන් විසින් ඇස හා මනස ඔස්‌සේ නිර්මාණය කරන ගුණයක්‌ පමණක්‌ බව ය. එය ඊනියා නීලගුණයට පමණක්‌ නොව රක්‌ත ගුණයටත් පීත ගුණයටත් එවැනි අනෙක්‌ ගුණවලටත් වලංගු වෙයි.

ආලෝකය යනු ඇස හා මනස විසින් නිර්මාණය (සංස්‌කරණය) කෙරී ඇති තවත් සංකල්පයකි. බටහිර භෞතික විද්‍යාව මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්‌ ද? බටහිර භෞතික විද්‍යාවෙහි බටහිර යන්න වරහන් ඇතුළත ලියන්නෝ පුහු පඬියෝ ය. එසේත් නැත්නම් බටහිරයන් අනුකරණය කරන යටත්විජිත වහල් මානසිකත්වයක්‌ ඇත්තෝ ය. බටහිර භෞතික විද්‍යාව පමණක්‌ ලෝකයේ තිබිණි නම් බටහිර යන විශේෂණය අවශ්‍ය නො වේ. පඬියන් නො දැන සිටියාට උම්මග්ග ජාතකයෙහි ද භෞතික විද්‍යාවක්‌ විස්‌තර කෙරෙයි. ඒ දඹදිව භෞතික විද්‍යාවකි. බටහිර භෞතික විද්‍යාව බටහිර යන විශේෂණය නොමැතිව ලියන්නෝ ද බටහිර යන්න වරහන් ඇතුළත ලියන්නෝ ද බටහිර නොවන භෞතික විද්‍යාවක්‌ ඇති බව හෝ තිබු බව හෝ නොපිළිගන්නා යටත්විජිතවාදී වහල් මනස්‌ ඇත්තෝ වෙති. මම බටහිර විද්‍යා පීඨයක පීඨාධිපති වෙමි. මා එහි පීඨාධිපතිකම කරන්නේ බටහිර විද්‍යාවට පහර ගැසීමට හා ධර්මය ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා අනෙක්‌ අයට ගෙන යැමට එය ආධාර වන බැවින් ය.

සම්භාව්‍ය බටහිර භෞතික විද්‍යාවට අනුව ආලෝකය යනු විද්යුත් චුම්බක වර්ණාවලිය නො වේ. එසේ කියන්නා අඩු තරමින් තමන් මහත් ඉහළින් අගය කරන්නේ යෑයි විශ්වාස කළ හැකි බටහිර භෞතික විද්‍යාවවත් නො දනියි. බටහිර භෞතික විද්‍යාවට අනුව ආලෝකය යනු විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය වෙනස්‌ වීම කරණ කොට ගෙන ප්‍රචාරණයෙන් ඇතිවන්නා වූ සංසිද්ධියකි. ඊනියා විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය පංෙච්න්ද්‍රියට ගෝචර නො වේ. ඊනියා විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය දුටු අයෙක්‌ වෙත් ද? එපමණක්‌ නොව ආලෝකය ද ඇසට නො පෙනෙයි. එහෙත් ආලෝකය වස්‌තුවකට වැටී පරාවර්තනය වීම හේතුවෙන් ඒ වස්‌තුව නිරීක්‍ෂකයන්ට නීරීක්‍ෂණය කළ හැකි ය. ආලෝකය නො පෙනුණත් ආලෝකයේ ආධාරයෙන් අපට ඇතැම් වස්‌තු පෙනී යයි. එහෙත් ඒ ඇස්‌ ඇති නිරීක්‍ෂකයන්ට මිස අන් අයෙකුට නො වේ. ඇස්‌ නොමැතිව දැකිය හැක්‌කක්‌ නැත. මේ වස්‌තු ආදිය ද මතුවට කියෑවෙන විකිරණ ආදිය ද සම්මුතියෙන් පවත්නා බවත් ඒවා ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ බවත් අමතක නො කළ යුතු ය.

බටහිර භෞතික විද්‍යාවට අනුව ආලෝකය යනු ඊනියා විද්යුත් චුම්බක වර්ණාවලියක්‌ නො වේ. විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය වෙනස්‌ වීම ප්‍රචාරණය වන්නේ විවිධ සංඛ්‍යාති සහිත විකිරණ ලෙස ය. මේ සියලු විකිරණ මිනිස්‌ ඇසට ගෝචර නො වේ. බටහිර විද්‍යාව කියන්නේ ඇතැම් සංඛ්‍යාති සහිත විකිරණ පමණක්‌ මිනිස්‌ ඇසට ගෝචර වන බව ය. මේ සංඛ්‍යාති විවිධ වර්ණාවලට අදාළ වෙයි. වර්ණාවලියෙහි එක්‌ කොටසක්‌ මේ මිනිස්‌ ඇසට ගෝචර වන සංඛ්‍යාති සහිත විකිරණවලින් සමන්විත වෙයි. එහෙත් වර්ණාවලියට අනෙක්‌ සංඛ්‍යාති සහිත විකිරණයත් අයත් බව බටහිර භෞතික විද්‍යාව වෙනුවෙන් ගොඩ පෙරකදෝරුකම් කරන ඇතැම් පුස්‌සෝ නො දනිති. එහෙත් මේ පුස්‌සෝ පෑන අතට ගෙන තමන් ගේ නොදැනුවත්කම ප්‍රකාශ කිරීමට මැළි නො වෙති. මේ පුස්‌සන් ඇතැම් විට පාරජම්බුල අධෝරක්‌ත ආදි විකිරණ ගැන අසා නොමැති නම් එහි වරද ඔවුන් අත ම පමණක්‌ වේ.

නීල වර්ණයට අදාළ විකිරණයට යම් සංඛ්‍යාතියක්‌ ඇත. නීල වර්ණය එලෙස නීල වර්ණයක්‌ වන්නේ මිනිසුන්ට ය. නීල වර්ණයට අදාළ සංඛ්‍යාතියක්‌ සහිත විකිරණයක්‌ ගැන කතා කරන්නෝ ද බටහිර භෞතික විද්‍යාඥයෝ හා ඔවුන් අනුකරණය කරන්නෝ ම පමණක්‌ වෙති. මිනිසුන් ගේ ඇස්‌වලට ගෝචර වන විකිරණවලට අමතර ව ඇති විකිරණවලින් සමහරක්‌ ඇතැම් සතුන් ගේ ඇස්‌වලට ගෝචර වන්නේ යෑයි බටහිර විද්‍යාවෙන් කියෑවෙයි. මිනිසුන්ට ගෝචර නොවන එහෙත් වෙනත් සතුන්ට ගෝචර වන විකිරණ මිනිසුන්ට ආලෝකය නො වේ.

මේ ඊනියා සංඛ්‍යාති ද මිනිසුන් ගේ ම නිර්මාණ වෙයි. ඒ සංඛ්‍යාති මිනිසුන්ගෙන් තොරව පවතින දෑ නො වේ. බටහිර දර්ශනයට හසු නොවුණ ද සංඛ්‍යා ද මිනිසුන් ගේ නිර්මාණ වෙයි. එක දෙක ආදී සංඛ්‍යා යනු මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇති වියුක්‌ත සංකල්ප වෙයි. බටහිර දාර්ශනිකයකු වූ කාන්ට්‌ පඬිවරයාට සංඛ්‍යා ප්‍රාගානුභූත (a Priori) වෙයි. එනම් ඒවා අනුභූතියට කලින් වූ සංකල්ප වෙයි. ප්‍රාග් යන්නෙහි තේරුම කලින් යන්න ය. ප්‍රාග් ඓතිහාසික යන්නෙන් ඉතිහාසයට පෙර වූ බවක්‌ කියෑවෙයි.

හතර යන සංඛ්‍යාව හතරේ ගොඩවල් යන සංකල්පය නොමැතිව නිර්මාණය නො වේ. හතරේ ගොඩවල්වලට ඇති පොදු ගුණය හතර යන වියුක්‌ත සංකල්පයෙන් ප්‍රකාශ වෙයි. ඒ සංකල්ප බටහිර දාර්ශනිකයකු වූ කාන්ට්‌ විද්වතා කියා ඇති පරිදි ඊනියා ප්‍රාගානුභූත වූවක්‌ නොව මිනිසුන් තම අනුභූතිය ඇසුරෙන් නිර්මාණය කරගත් වියුක්‌ත සංකල්පයකි. කාන්ට්‌ වැනි බටහිර දාර්ශනිකයන්ට අනුව නම් අප ඉපදෙන්නේ ම හතර හා අනෙක්‌ සංඛ්‍යා සිතින් දරා ගෙන ය. කාන්ට්‌ පඬිවරයා ඊනියා හේතුවාදී (rationalist) දාර්ශනිකයකු වූ බව අද ඉන්නා හේතුවාදීහු නො දනිති.

දශම සංඛ්‍යා ද මිනිසා ගේ නිර්මාණ වෙයි. යම් වස්‌තුවක්‌ එක සමාන වස්‌තු දහයකට කැඩූ කල එක්‌ වස්‌තුවක්‌ මුල් වස්‌තුවෙන් දහයෙන් එකක්‌ හෙවත් දශමයක්‌ යෑයි මිනිස්‌සු කියති. ඊනියා සංඛ්‍යාති දශම සංඛ්‍යා ආධාරයෙන් ප්‍රකාශ කෙරෙයි. විකිරණයක සංඛ්‍යාතිය යනු කුමක්‌ ද? කම්පනය හා එහි චක්‍රය යන්න ද මිනිසුන් ගේ නිර්මාණ වෙයි. ඒකක කාලයකට වක්‍ර සංඛ්‍යාව යන්න ද එසේම ය. කාලය ද මිනිසුන්ගෙන් ස්‌වායත්ත ව පවතින්නක්‌ නො වේ. කාලය යනු පඤ්ඤත්තියක්‌ බව අත්ථසාලිනියෙහි සඳහන් කෙරුණේ පස්‌වැනි සියවසෙහි ය. පඬියෝ මෙරට සංස්‌කෘතියෙහි සංකල්ප, මතවාද නො දනිති. එසේ නො දැන සිටීමත් ඔවුන්ට පඬිකමක්‌ වෙයි. පඬිකම එතරම් ම රසවත් ය.

කාලය එසේ කල ඒකක කාලයකට කම්පන වක්‍ර ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? ඒ මිනිසුන් ගේ තවත් නිර්මාණයක්‌ මිස වෙනත් කිසිවක්‌ නො වේ. එහෙත් මෙරට පුස්‌සන්ට හා බටහිර පඬියන්ට ඒකක කාලයට කම්පන වක්‍ර සංඛ්‍යාව මිනිසුන්ගෙන් තොරව පවතින්නකි. මෙහෙමත් මුග්ධභාවයක්‌ තවත් තිබිය හැකි ද? සිංහල බෞද්ධයනට අනුව නම් මේ මෝහය හේතුවෙන් තනාගන්නා වූ සංකල්ප වෙයි. මෝහය පඬිකමක්‌ වන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ඇති දැඩි වූ බටහිරයන්ට හා ඔවුන් අනුකරණය කරන මෙරට පඬියන්ට ය.

අඩු ම තරමෙන් පරිගණකය යනු මිනිසුන්ගේ නිර්මාණයක්‌ බවවත් පුස්‌සන්ට නො තේරෙයි. තමන්ට අවශ්‍ය අන්දමට ප්‍රක්‍රමණ ලියන්aනේ මිනිසුන් ය. පරිගණකය යොදාගෙන ඊනියා විකිරණයක සංඛ්‍යාතිය මැනීම යනු මිනිසුන්ගෙන් බාහිර ව සිදුවන ක්‍රියාවලියක්‌ නො වේ. පරිගණකයට යම් දත්ත සමූහයක්‌ දුන් විට (කැවූ විට) පරිගණකය මිනිසුන් කියා ඇති ආකාරයට ඇතැම් අගයන් ගණනය කරයි. එය මිනිසුන්ගෙන් ස්‌වායත්ත වූ ක්‍රියාවලියක්‌ යෑයි නිගමනය කළ හැක්‌කේ මොළයෙන් ස්‌වායත්ත වූ පඬියන්ට යෑයි සිතමි.

වර්ණාවලිමානය ද එසේම ය. ඒ සියල්ල මිනිසුන් තමන්ට අවශ්‍ය නිගමන ලබාගැනීම සඳහා තනා ඇති උපකරණ පමණ ය. ඒ උපකරණ තිබීමෙන් මිනිසුන්ගෙන් ස්‌වායත්තව පවත්නා වර්ණාවලියක්‌ ඇතැයි ගම්‍ය නො වේ. මේ සියල්ල සංකල්පීය ලෝකයක්‌ පමණකි. ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක්‌ නැත. එහෙත් ගුරුත්වාකර්ෂණය යන සංකල්පය යොදා ගනිමින් හඳට රොකට්‌ටු යෑවිය හැකි ය. එමෙන් ම ගලක්‌ පොළොවට වැටෙන්නේ අහවල් ත්වරණයෙන් යෑයි නිගමනය කළ හැකි ය. එකී ත්වරණ ද මිනිසුන්ගේ නිර්මාණ බව අමතක කරන පුස්‌සෝ එවැනි ත්වරණවලින් ගල් ඇද වැටෙන්නේ යෑයි කියමින් එබැවින් ගුරුත්වාකර්ෂණය ඇති බව නිගමනය කරති. පුස්‌සන් ගේ තර්කවලට හා නිගමනවලට දෙවියන්ගේ ම පිහිට ය.

මහාචාර්ය නලින් ද සිල්වා

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය